කල් ගත වූ තුවාල සුවකිරීමට උපකාරි වන ඔක්සිජන් පීඩන යන්ත්‍රයක් !

0
57

කුමක් හෝ හේතුවක් මත ඇති වූ තුවාල කොතරම් බෙහෙත් කළද සුව කර ගැනීමට නොහැකිවීම නිසා චිත්ත පීඩාවට පත්ව පීඩා විඳින බොහෝ දෙනා සමාජයේ සිටින බව කිව හැකිය. මෙතරම් බෙහෙත් වර්ග තිබියදීත්, ලෝකයේ සෞඛ්ය සේවා මෙතරම් දියුණුව තිබියදීත්, එසේ සිදුවන්නේ ඇයි?

එය ලෝකයේ දියුණු මෙන්ම බොහෝ රටවලට නම් ප්රශ්නයක් නොවේ. ඒ සඳහා නියමිත ක්රමවේදයක් එකී රටවල පවත්වාගෙන යාම ඊට හේතුවය. එහෙත් අප රටේ තුවාල නිසා පීඩා විඳින අය වෙනුවෙන් නිශ්චිත සායනයක් හෝ නැතැයි සඳහන් වේ. ශ්රී ලංකාවේ රාජ්ය ක්ෂේත්රයට සහ පුද්ගලික අංශයට අදාළ රෝහල් බොහොමයක් තිබුණද, තුවාල සඳහා ප්රතිකාර ලබා දෙන සායනයක් පැවැත්වෙන එකම ස්ථානය සීදුව විජය කුමාරතුංග රෝහල යැයි සඳහන් වේ.

වෛද්ය ගයාන් ජයකොඩි සේවය ලබා දෙන්නේ රාජ්ය හා පුද්ගලික අංශයේ කළමනාකාරිත්වය යටතේ පවත්වාගෙන යන මෙම සීදුව විජය කුමාරතුංග රෝහලේය. වෛද්ය ක්ෂේත්රයට අවතීර්ණ වූ දින සිට ඔහුගේ අභිප්රාය වී ඇත්තේ සෞඛ්ය අංශය වෙනුවෙන් අලුත්-අලුත් දේ කිරීමටය. කොළඹ ආනන්ද විද්යාලයේ සිප්සතර හදාරා වෛද්ය විද්යාලයට ඇතුළත්ව උපාධිය ලබාගැනීමෙන් අනතුරුව ඔහු සීමාවාසික සේවයෙහි යෙදුණේ නාවලපිටිය රෝහලට අනුයුක්තවය. ඉන් පසුව එවකට ත්රස්තවාදී යුද්ධය පැවැති සමයේදී ක්රියාන්විත ප්රදේශයන්හි සරණාගත කඳවුරු සඳහා සේවය ලබා දී තිබේ.

ඉනික්බිතිව සාමාන්ය වෛද්යවරයකු ලෙස ඔහු සම්බන්ධ වූයේ මෙම සීදුව විජය කුමාරතුංග ෙරා්හල වෙත ය. හදිසි ප්රතිකාර අංශයේ කටයුතු කරමින් සිටියදී තුවාල සම්බන්ධයෙන් ලංකාවේ රෝහල් ක්ෂේත්රයේ ලොකු අඩුපාඩුවක් පවතින බව ඔහුට ඒත්තු ගැන්විණි. මේ අතරේ එම රෝහලේ කළමනාකාරිත්වය සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස එහි සේවය කරන වෛද්යවරුනට පැවසූ පසු වෛද්ය ගයාන් ජයකොඩි තුවාල සඳහාම ප්රතිකාර ලබාදෙන සායනයක් වෙනුවෙන් අදහස් ලබා දුන්නේය. ලංකාවේ ප්රථම වතාවට රෝහලක තුවාල සඳහාම ප්රතිකාර ලබාදෙන සායනයක් සහිත ඒකකය මෙහි ස්ථාපිත වී ඇත්තේ ඒ අනුවය. තුවාල සඳහා ප්රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් වාට්ටුවක් වෙන් වූ එකම රෝහල වන්නේද මෙය බව වෛද්ය ගයාන් පවසයි. තුවාල සම්බන්ධයෙන් ප්රතිකාර ලබාදීමේ දී ශ්රී ලංකාවේ පවතින අඩුපාඩු කෙතරම්ද කියා ඔහුට වැටහී ඇත්තේ මෙලෙසින් කටයුතු කරන අතරේදී බැව් පවසයි.

‘‘සාමාන්ය MBBS වෛද්යවරයකු ලෙස මේ වැඩේ කරගෙන යද්දි තමයි මට හරියටම තේරුම් ගියේ, තුවාල ගැන අප දන්නා දේ බොහෝ අඩු බව. උපාධි සඳහා වෛද්ය විද්යාලයට තේරීම සිදු වුණත්, තුවාල ගැන විශේෂිතව ඉගෙනීම වෙනුවෙන් උපාධියට එහා ගිය පශ්චාත් උපාධිය සඳහා ඉගෙනීම් කිරීමට විභාග හෝ වෙනත් අවකාශයන් මෙහි නැහැ. සරලවම කිවහොත් තුවාල සඳහා විශේෂඥ වෛද්ය සේවාවක් හෝ වෛද්යවරු අප රටේ නැහැ. ‘තුවාල’ සුව කිරීම සඳහා ශල්යවේදී ඔහුගේ කොටස කරන අතර, සමේ රෝග, අස්ථි, විකලාංග, ප්ලාස්ටික් සැත්කම් යන අංශවලට අයත් වෛද්යවරු ඔවුනගේ කාර්යයන් ඉටු කරනවා. ‘‘එහෙත් තුවාල සඳහාම වෙන් වූ විශේෂඥවරු සහ ඒකකයක් නැහැ.’’
එසේ පවසන වෛද්ය ගයාන් ජයකොඩි ක්රියාත්මක වූයේ එතැන් සිටය. වෛද්ය ක්ෂේත්රයේ බොහෝ දෙනා අත නොගසන ඉසව්වකට ඔහු අවතීර්ණවීමට පෙර ඒ සඳහා දැනුමින් පොහොසත් වන්නේ කෙසේද යන්න කරුණු සොයා බැලුවේය. එංගලන්තයේ- කාඩිෆ් සරසවිය, ඔස්ට්රේලියාවේ – මොනෑෂ් සරසවිය මේ සඳහා විශේෂඥ දැනුම ලබා ගැනීමට ඇති ලොව විශේෂිත වූ සරසවි බව ඔහු සොයා ගත්තේය. පසුව සිංගප්පූරුවට ගොස් සිංගප්පූරුවේ ජාතික රෝහලට සහ නාවික ක්ෂේත්රයට සම්බන්ධ වී පුහුණුව සහ දැනුම ලබා ඩිප්ලෝමා සහතිකයද හිමිකරගෙන මෙරටට පැමිණ තිබේ. ඒ තුවාල සම්බන්ධයෙන් විශේෂඥ යන අංශයට අදාළවය. ඉන් පසුව මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ උදව් සහ මගපෙන්වීම මත එංගලන්තයේ කාඩිෆ් සරසවියට සම්බන්ධ වී පළමු සහතිකයද, ඩිප්ලෝමා අංශයද සමත් වී සිටින වෛද්ය ගයාන් දැන් සූදානමින් පසුවන්නේ විද්යාපති (පශ්චාත්) උපාධිය නිමකිරීම වෙනුවෙනි. ඒ ඉහත කී තුවාල පිළිබඳ විශේෂඥ අංශය සඳහාය.

මේ අතරවාරයේදී ‘‘පීඩන ඔක්සිජන් කුටිය’’ (Hyperbaric oxygen chamber) යන්ත්රය ගෙන්වීමට පුරෝගාමී වූයේ එතෙක් ඔහු ඉතිරිකර තිබූ ධනය මෙන්ම බැංකු ණයද ලබාගෙනය. මෙම යන්ත්රය රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනාකමකින් යුතුය. දැන් මේ නිසා සුවවීමට කල්ගත වන තුවාල සුව කිරීම සඳහා විශාල පහසුවක් ලැබී තිබේ. තුවාල නිසා පීඩා විඳින බොහෝ දෙනා දැන් මේ නිසා ලබන්නේ ලොකු සහනයකි.

හයිපර්බරික් ඔක්සිජන් චෙම්බර් (Hyperbaric oxygen chamber) නමැති මෙම යන්ත්රය කුමක්ද? මෙයින් තුවාල සුව කිරීම සඳහා ඇති වැදගත්කම කුමක්ද? යන්න ගැන අපි වෛද්ය ගයාන් ජයකොඩිගෙන් විමසීමු.

‘‘මෙම පීඩන ඔක්සිජන් කුටිය’’ වෙතින් සිදුවන දේ ගැන පැවසීමට පෙර තුවාල සුවවීමට කල් ගත වන්නේ ඇයිද යන්න ගැන මම සමාජය දැනුම්වත් කරන්න කැමතියි. තුවාල සඳහා ප්රතිකාර කිරීමේදී වෛද්ය විද්යාව අනුව එය අංශ තුනකට වර්ග වෙනවා. එය හඳුන්වන්නෙ VIP (වී.අයි.පී.) නමින් නහර ආශ්රිත ප්රශ්න නිසා, විෂබීජ ආසාදනය නිසා, සහ ලේ පීඩනය නිසා යනුවෙන් එය වර්ග වෙනවා.

ප්රතිකාර කිරීමේදී දින 30කට වඩා සුව නොවී තිබේ නම්, එය නිදන්ගත තුවාල ලෙස සළකනවා. තුවාල සඳහා ප්රතිකාර ලබාදීමේදී මේ කාණ්ඩ හඳුනාගැනීම ඉතා වැදගත්. බෙහෙත්වලින් තුවාල සුව කිරීම සඳහා 99%ක් හැකියාව තිබුණද, ඉහත සඳහන් කළ අන්දමට වර්ග වූ තුවාල සුව කිරීමට බෙහෙත් විතරක් ප්රමාණවත් වන්නේ නැහැ. දිගුකාලීනව තුවාල සුව නොවන්නේ එකී හේතු කාරණා නිසයි.

තුවාල සුව කිරීම සඳහා විශේෂිත අනර්ඝ ප්රමිතියෙන් යුතු බෙහෙත් වර්ග අප රටේ බොහෝ විට භාවිතයට නොගැනීම සිදුවන්නේ ආර්ථික ගැටලු නිසයි. ඒ කෙසේ වෙතත් දියුණු රටවල මෙන්ම අසල්වාසී ඉන්දියාව පවා ඉහත සඳහන් කළ VIP ලෙස වෙන්කර ඇති සුවවීමට කල් ගත වන තුවාල සුව කිරීම සඳහා මෙන්ම දියවැඩියාව නිසා හට ගන්නා කල්ගත වූ තුවාල සුවකිරීමට මෙම Hyperbaric oxygen chamber යන්ත්රය භාවිත කරනවා. ඊට අමතරව තවත් අංශයක් සඳහා මෙම යන්ත්රය භාවිත කරනවා. එනම් රූපලාවන්ය ක්ෂේත්රය සඳහා.

ලෝක ප්රකට පොප් ගායක මයිකල් ජැක්සන් තමාගේ රූපය ලස්සනට තබා ගැනීම වෙනුවෙන් තාරුණ්යයේ පෙනුම ලබාගැනීමට මෙම ඔක්සිජන් පීඩන යන්ත්රය භාවිත කළා. එමෙන්ම ලෝ ප්රකට හොලිවුඩ් නළු ජැකී චෑන් පුද්ගලිකව මෙම යන්ත්රය භාවිත කරනවා. ඔක්සිජන් පීඩන සිරුර වෙත ලබාදීම මගින් සිරුර සංතෘප්තවීම නිසා සම පැහැපත් වී වයසට යාම මන්දගාමී වෙන බව රූපලාවණ්ය ක්ෂේත්රයේ ප්රවීණයින් පිළිගන්නා දෙයක්.

‘‘රෝගී තත්ත්වයේ සිට නිරෝගී වූ පසු මිනිසුන්ගෙන් ලැබෙන සිනහව දකින්න ඕනෑම වෛද්යවරයෙක් කැමතියි. ඇත්තටම අපට මුදලට වඩා වටින්නේ මිනිසුන්ගේ සතුටයි. එය මුදලට ගත හැකි දෙයක් නොවේ’’

වෛද්ය ගයාන් පුද්ගලිකව මැදිහත් වී තැබූ මෙම පියවර රට පුරා දියත් කොට ජනතාවට සේවා සැපයීම පුද්ගලික සහ රාජ්ය සෞඛ්ය අංශයේ මැදිහත්වීම මත සිදු කළ යුතු දෙයක් වන්නේය. වෛද්ය මහාචාර්ය මන්දික විජේරත්න සමඟ එක්ව වෛද්ය ගයාන් ජයකොඩි මෙම අංශයේ පුහුණුවක් ලංකාවේ අනෙකුත් වෛද්ය ස්ථාන වෙත ලබාදීමටද කටයුතු යොදා තිබේ.
‘‘රජය කරන තෙක් බලා නොසිට අප යමක් සමාජයට කළ යුතුයි’’

 


උපුටා ගැනීම් හා සැකසීම:- අනුර නාගොඩවිතාන නාගොඩවිතාන

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here