රුපියල් පනහ හැමදාම අතගෑවට මේක දන්නවද බලන්න.

0
71

මේ කතාව කොහෙන් කොහොම පටන් ගන්නද ?

හරි අපි මුල ඉඳලම පටන්ගමු..

දුම්බර මිටියාවතේ නිත්තවෙල කියන ගමේ ක්‍රි.ව 1906 දී පුත් කුමරෙක් උප්පත්තිය ලබනවා..ලක්මව සරසවපු මැණිකක් කිව්වත් වැරදි නෑ..

වටපුළුව ඉස්කෝලෙන් මූලික අධ්‍යාපනයට යන මේ කුමරා ඉගෙනීමට වඩා ඉතින් නැටුමට තමා දක්ෂ.. අපි සාමාන්‍යයෙන් කියන නැටුමමත් නෙවෙයි උඩරට නර්තනයට..

මේ නැටුමට දක්ෂ කොලු ගැටයා තමයි නිත්තවෙල ගුණයා නැත්නම් යක්දෙස්සලාගේ ගුණයා ගුරුන්නාන්සේ නම් වෙන්නේ.. එතුමාගේ පියා තමයි පනික්කි ගුරුන්නාන්සේ කියන්නේ.. ලොකු අප්පච්චි නිත්තවෙල සුරඹා ගුරුන්නාන්සේ..

ලොකු අප්පච්චි ඒ වෙනකොට ශ්‍රී දළදා පෙරහැරේ නැට්ටුවෙක්.. පොඩි කාලෙම නැටුමට ආසවුන උඩ අපි කතා කරපු ගුණයා කොලු ගැටයාත් අවු 08 වෙනකොට ශ්‍රී දළඳා පෙරහැරේ නර්තනයට යන්න තරම් වාසනාවන්ත වෙනවා.. ලොකු අප්පච්චීගේ ද ගුරු හරුකම් ඇතුව ඉස්සරහට එන මේ කොලු ගැටයා අවුරුදු 18ක් වෙද්දී වෙස් බඳිනවා.

උඩරට නර්තනයේ පෙර නොවූ විරූ දක්ෂතා දක්වන්නට මේ නර්තන ශිල්පියාට හැකියාව ලැබෙනවා..
එකල දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය නිළධාරීව සිටි ජෝන් හෙන්බර්ග් මහතා තරුණ නර්තන ශිල්පියාගේ හැකියාව වටහාගෙන ජර්මනියට කැඳවාගෙන යන්නේ ජර්මන් වැසියන්ටද මේ උසස් නර්තනයේ රස බෙදාදීමටයි.. එලෙස මාස නවයක් පුරා ජර්මනියේ ජනයා විශ්මයට පත් කළ මේ තරුණයා නැවත ලංකාවට පැමිණෙන්නේ ජර්මනියේ නැවතීමට කරන ලද ඉල්ලීම්ද පසෙකලාය.

1947 නැවත ජර්මනිය බලා යන අතර එහිදී රන් සම්මානයෙන් ඔහු පුදනු ලබනවා.ශ්‍රී ලාංකීය නර්තන ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකියි.

එලෙස රන් සම්මානය ලැබ නැවත දිවයිනට පැමිණෙන මේ විශිෂ්ටයාගේ වෙස් ⁣ඇඳුම් පෙට්ටිය තුළ වූ සම්මානය නැතිවෙන්නේ ඉතාම අභිරහස් විදියටයි.කලාකරුවෙකුට මෙය ජීවිතය නැතිවූවාක් මෙන්ය.. මන්ද කාලයක් පුරාවට කල මෙහෙයට අගය කිරීමක් විදියට කලාකරුවාට අන්තිමේ ඉතිරි වන්නේ මේ සම්මාන පමණක් වීමය.
(මෑතකදී රණ මයුරටත් උන දේ මතකනේ 😡 )

කෙසේ වුවත් 1950 දී මෙම විශිෂ්ටයා අගය කරමින් නිදහස් සමරු මුද්දරයක් නිකුත් කරනු ලබනවා..

බොහෝ දොම්නසින් වුවත් නර්තනය ඉදිරියටත් කරන මෙතුමා 1957 ⁣රසියාවේ පැවති ලෝක තරුණ සම්මේලනයට යන්නේ ශ්‍රී ලංකා තරුණ සංස්කෘතික කණ්ඩායමේ නායකයා වශයෙනි.

එහිදීද ලංකාවට සම්මාන පිට සම්මාන ගෙන දෙමින් ලංකා නාමය ජාත්‍යන්තරයේ යළිත් වරක් දිදුළවන ලදි.

මේ අතර ප්‍රංශයේ සෝබෝර්න් විශ්ව විද්‍යාලයෙන් පැමිණි ඇරයුම්ද ප්‍රතික්ෂේප කරන්නේ මව්බිමට තම උපරිම යුතුකම් ඉටුකිරීමේ අටියෙනි.

තවද ඉන්දීය සහ වෙනත් විදේශයන්ගෙන් බොහෝ ප්‍රවීණ නර්තන ශිල්පීන් මෙතුමාගෙන් නර්තනය හැදෑරීමට මෙරටටද පැමිණ ඇත.

1958 ඉන්දියාවේ පැවති පස්වෙනි Filmfare සම්මාන උළෙලටද ආරාධනා ලැබෙන්නේ මෙතුමාගේ ජාත්‍යන්තර විශිෂ්ට බව මොනවට පැහැදිලි කරමින්.. එහිදී Filmfare සඟරාවේ මුල් පිටු හතරම එතුමාගේ රුවින් සරසන්නට තරම් මෙතුමා වාසනාවන්ත වෙනවා.

එස්,ඩබ්,ආර්,ඩී බණ්ඩාරනායක මහතා අතින් ස්වර්ණ ජයන්ති සම්මානයද මෙතුමාට හිමිවෙනවා.තවද නිත්තවෙල ග්‍රාමයේම සිටි රත්වත්ත පරම්පරාව ඉඩම් කොටසක්ද මෙතුමා නමින් පවරනු ලබනවා.

මෙලෙස අවුරුදු 57ක් පුරා දළදා පෙරහැරේ නර්තනය යෙදුන මෙතුමා ගැන බැලීමට අවසානයේ කිසිවෙකු නොවීය..

සිය පුතු තරුණ වියේදීම ඔහු හැරයන අතර දියණියද අකාලයේ මියයන ලදි.
තනිවන මෙතුමා අවසානයේ ජීවිකාව වෙනුවෙන් කර තිබෙන්නේ කෝපී කැඩීමයි.

කෝපී කඩන අතර වැටුන දිමි ගොටුවක් නිසා එක් ඇසක් අහිමි වන මෙතුමා තවත් අසරණ වනවා.

ගුණයා ගුරුන්නාන්සේගේ එක් අවසාන ඉල්ලීමක් විය.

ඒ තමා උගත් ශිල්පය මතු පරපුරට දායාද කිරීමට නැටුම් මඩුවකට ඉඩමකි. වල්වැදී යන රජයේ ඉඩම් දහස් ගණන් තිබෙද්දී ගුණයා ගුරුන්නාන්සේගේ ඉල්ලීමට කන්දීමට කිසිඳු නිළධාරියෙක් සිට නැත.

මෙසේ දුක්ඛිත තත්වයක් යටතේ අවසානයේ වර්ෂ 1979 දෙසැම්බර් 26 එතුමාගේ දිවිය කෙළවර වෙන්නේ නිදා සිටින අතරතුර කුප්පි ලාම්පුවක් පෙරළීමෙනි.

අවුරුදු 57ක් පුරා දළඳා පෙරහැර නර්තනයෙන් වර්ණවත් කිරීම මෙන්ම ලාංකීය නර්තනයේ විශේෂයෙන් උඩරට නර්තනයේ සමණල වන්නම , තුරඟා වන්නම ,මයුරා වන්නම මහබෝ වන්නම දායාදකිරීම පමණක් නොව කොහොඹා කංකාරිය ද එතුමා ඉතා හැඩවත් කළ බව සඳහන් වේ.

* ලෝකයක් ඉදිරියේ ලංකාව ඔසවා තැබූ මේ නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ නම් මේ විශිෂ්ටයාගේ නර්තන සටහනකුයි ඔබ මේ රුපියල් පනහේ පැත්තක දකින්නේ.. *

ප.ලි.

අහල ඇතිනේද එම් එම් ජයවර්ධනයන් සංගීතවත් කරපු රත්න ශ්‍රී විජේසිංහයන් අකුර කළ ජානක වික්‍රමසිංහ හඬ එකතු කළ
මේ පදපේළී ටික… ඒ තුළින් එතුමාගේ ජීවිත කතාව මැනවින් පැහැදිලි කරනවා..

රඟබිමෙන් බසින විට ගෙයි සන්තකව ඇති
නළල් පටමාල හත්පට සින්න වී ඇති …….
සකියණි රිදී කාසි සොලවන්නට බෙර පදය මදී….

කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා

සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැළපෙනා

නටනවා නෙවෙයි වැහැරුනු දෙපා වෙව්ලනා

තන තන තාන තම්දෙනා……

පහළ රුපියල් පනහ දිහා හොඳට බලන්න..
ඒ මූණෙන් තමන්ගේ රට වෙනුවෙන් උපරිමය කැපකළ ඒ අභිමානය හොඳින්ම පේනවා ඇති.

උපුටා ගැනීමකි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here