එක් මගියකු වෙනුවෙන් වසර තුනක් පවත්වාගෙන ගිය දුම්රිය සේවය

0
68

වසා දැමීමට නියමිතව තිබුණද කිසිදු ලාභයකින් තොරව එක් මගියකු වෙනුවෙන් වසර තුනක් නොකඩවා දුම්රිය සේවාවක් පවත්වාගෙන ගියා යැයි කිවහොත් ඇතැම් විට විස්මයට කරුණක් විය හැකිය. එහෙත් ජපානයේ හොකයිදෝ දුම්රිය සමාගම දැරියකගේ අධ්‍යාපනය වෙනුවෙන් එවන් මහඟු සේවයක් සිදු කරයි.

ජපානයේ උතුරු හොකයිදෝ දූපතේ පිහිටි ෂිරාතාකි දුම්රිය මග කිලෝමීටර 78.9ක් දිගු වන අතර එහි එක් අන්තයක කැමි ෂිරාතාකි දුම්රිය ස්ථානය පිහිටා තිබේ. අනෙක් අන්තයේ ඇත්තේ ෂින් අසකාවා දුම්රිය ස්ථානයයි. ෂිරාතාකි, හොකයිදෝ දූපතේ ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටි ගම්මානයකි. එහි ජනගහනය 40කට නොවැඩිය. අතීතයේ විශාල ජනගහනයක් ජීවත් වූ එම ගම්මානය ක්‍රමයෙන් ජනශූන්‍ය බවට පත් වූයේ උපත් සංඛ්‍යාව අවමවීමත්, බොහෝ පිරිස් නගරබදට සංක්‍රමණය වීමත් හේතුවෙනි. එහෙයින් දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව හා භාණ්ඩ ප්‍රවාහනය ශීඝ්‍ර ලෙසින් පහත වැටිණි.

ජපානයේ දුෂ්කර ප්‍රදේශයන්හි තවමත් පවතිනුයේ යල්පැන ගිය දුම්රිය සේවයකි. ජනශූන්‍යවීම හේතුවෙන් දුම්රිය සේවය යාවත්කාලීන නොවූ අතර එය පාඩු ලබන තත්ත්වයට පත් විය. හොකයිදෝ දිවයිනේ පමණක් දුෂ්කර ප්‍රදේශ කරා ධාවනය වූ දුම්රිය සේවා 20ක් පමණ පසුගිය දසක කිහිපය ඇතුළත නවතා දැමිණි.

කැමි ෂිරාතාකි දුම්රිය ස්ථානය ඇතුළු තවත් දුම්රිය ස්ථාන හතරක් වසා දැමීමට දුම්රිය සමාගම තීරණය කළේ තවදුරටත් පාඩු විඳීමට නොහැකි වූ බැවිනි. එහෙත් එක් උසස් පාසල් දැරියක දිනපතා මෙම දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවන බවට බලධාරීනට අනාවරණය විය. එම දැරිය කනා හරාදා නම් වූවාය. දුම්රිය ස්ථානය වසා දැමුවහොත් ඇයගේ අධ්‍යාපනය අඩාළවන බැව් වටහා ගත් දුම්රිය සමාගම ඇයගේ අධ්‍යාපනය අවසන් තෙක් පාඩු ලැබුවද කැමි ෂිරාතාකි දුම්රිය ස්ථානය වසා නොදැමීමට තීරණය කළේය. ඒ අනුව වසර තුනක් මුළුල්ලේ කැමි ෂිරාතාකි දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවන එකම මගියා වූයේ කනාය.

කැමි ෂිරාතාකි දුම්රිය ස්ථානයෙන් දිනපතා උදෑසන 7.04ට දුම්රියට ගොඩවන ඇය කිලෝමීටර 50ක් පමණ ඈතින් පිහිටි උසස් පාසල කරා යන්නීය. පාසල නිමවී නැවත සවස 5.08ට ඇය එම දුම්රිය ස්ථානය කරා පැමිණෙන්නීය. මෙම දුම්රිය සේවය දිනකට දෙවරක් කැමි ෂිරාතාකි දුම්රිය ස්ථානය දක්වා ක්‍රියාත්මක කෙරෙනුයේ මෙම එකම මගියා වෙනුවෙනි. දුම්රිය කාල සටහනද සකසා ඇත්තේ ඇයගේ අවශ්‍යතාවට ගැළැපෙන අයුරිනි. වසර තුනක් මුළුල්ලේ නොකඩවා ඇය වෙනුවෙන් දුම්රිය සේවයක් පවත්වාගෙන යනු ලබන්නේ ජපන් ජාතිකයන් අධ්‍යාපනයේ අගය වටහා ගත් ජාතියක් වන හෙයිනි.

එක් වේදිකාවක් සහිත කුඩා දුම්රියපළක් වන කැමි ෂිරාතාකි දුම්රිය ස්ථානය ආරම්භ කෙරුණේ 1932දී ඔක්තෝබරයේය. එවක ජපාන ජාතික දුම්රිය සේවයට අයත් වූ එම දුම්රිය සේවය 1987 අප්‍රේල් මාසයේ හොකයිදෝ ජපාන දුම්රිය සමාගමට පැවරිණි. දුෂ්කර ප්‍රදේශයන්හි පිහිටි දුම්රිය ස්ථාන කිහිපයක් ජනශූන්‍ය වූ බැවින් ඒවා වසා දැමීමට 2012දී දුම්රිය සමාගම තීරණය කළේය. කියු ෂිරාතාකි, ෂිමො ෂිරාතාකි, කනෙහනා සහ කැමි ෂිරාතාකි එම දුම්රිය ස්ථානවලින් කිහිපයකි.

ලබන වසරේ මාර්තු 26 වැනි දින කනා උසස් පාසල් අධ්‍යාපනය හමාර කරන්නීය. එදින සිට කැමි ෂිරාතාකි දුම්රිය ස්ථානයද වසා දැමීමට නියමිතය. ඉන්පසු කැමි ෂිරාතාකි වෙත දුම්රියක් ධාවනය නොවනු ඇත. දුම්රිය සමාගම තමා වෙනුවෙන් කළ මෙහෙය කනා මහත් සේ අගය කරන්නීය. “වසර තුනක් මුළුල්ලේ මෙම දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවූ එකම මගියා මමයි. දුම්රිය සමාගම මා වෙනුවෙන් විශාල සේවයක් සිදු කළා. එසේ නොවුණානම් මගේ අධ්‍යාපනය කඩාකප්පල් වන්නට තිබුණා. මෙම දුම්රිය ස්ථානයේ කිසිම සේවකයෙක් නැහැ. හිම වැටෙන කාලයට දුම්රිය මග සම්පූර්ණයෙන්ම හිමෙන් වැසී යනවා. ඒ කාලයේ දුම්රියට එහි පැමිණීම සඳහා හිම ඉවත් කළේ අපේ ගම්වැසියෝ. මා ඔවුන්ටත් ස්තුති කරනවා. මා යම් දිනෙක ගමෙන් පිටව ගියත් ගම සහ දුම්රිය ස්ථානය අමතක කරන්නේ නැහැ.” යනුවෙන් කනා පවසා තිබිණි.

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here