ඉහල අහසේ කුසගින්නේ හඞන මගී ළදරුවාට ‘ ගුවනේ කිරිඅම්මා ‘ වූ පිලිපීන ගුවන් සේවිකාව!

0
47

පිලිපීන ගුවන් සේවයේ ගුවන් සේවිකාවක වූ පැට්රීෂා ඔර්ගනෝ Patrisha Organo පසුගිය 6 වනදා සවස තම සුපුරුදු ගුවන් රැකියාව ඇරඹූයේ ලොව ලක්ෂ ගණනක මිනිසුන්ගේ ආදරය දිනා ගන්නට වේ යැයි සිහිනෙකිනුදු නොසිතමිනි.

ප්‍රමාද වී ගමන ඇරඹූ ගුවන් යානය ඉහල අහසේ නිහඞව තම ගමනේ යෙදෙමින් සිටියදී යානයේ විවේකී සුවයෙන් නින්දේ සිටි මගීන් ද ඇහැරවමින් හඞන කුඩා බිළිදෙකුගේ හඞක් ටික වේලාවක් පැවතුනි. දැන් දැන් දරුවා නිදාගනු ඇතැයි සිතූව ද බිළිදාගේ හැඞීම එන්න එන්නම වේගවත් වූයේ මාස 4 ක් වූ බිළිදා ඉවසා ගත නොහැකි කුසගින්නේ පසුවූ බැවිනි.

කුඩා දරුවාද සමග ඒ මව ගුවන් තොටුපලට පැමිණ තිබුනේ රාත්‍රී 9.30 ට වුවද යානය ගුවන්ගතව තිබුනේ අළුයම 5.10 ටය. දිගින් දිගටම හඞන දරුවා ගැන ගුවන් නියමුවා ද දැනගත්තෙන් ” මේ කුඩා දරුවා හඞන්නේ කුසගින්නේ ද? කිසියම් රෝගී තත්වයකින්ද? නැතිනම් වෙනත් හේතුවක් නිසාද? යි සොයා බැලිය හැකි කෙනෙක් වෙත්ද..” යි නිවේදනයක් ද ඔහුගෙන් නිකුත් විය.

ගුවන් සේවිකා පැට්රීෂා දරුවාගේ මව සොයා ගොස් කළ විමසීමේ දී දැනගත්තේ දරුවා දැඩි කුසගින්නකින් පෙලෙමින් සිටින බවයි. ගුවන් තොටුපලට පැමිණි රාත්‍රී 9. 30 සිට මේ දක්වා ම බිළිදා ට කිසිදු ආහාරයක් නොමැති බවත් ය. මාස 4 ක් වූ මේ දරුවාට ලබාදෙන්නට තමන්ට මව්කිරි නොමැති බැවින් පිටිකිරි වර්ග ලබා දීමට පුරුදු වී ඇති බවත්, ඇයට තම දරුවා වෙනුවෙන් වූ පිටි වර්ගය රැගෙන ඒමට අමතක වූ බවත් මවගෙන් දැනගත් සැනෙන්, යුහුසුළුව ගුවන් යානයේ සේවා ස්ථානය වෙත ගිය පැට්රීෂා පුදුම වූයේ ගුවන් යානයේ ළදරුවන්ට ලබා දෙන පිටි කිරි වර්ග කිසිවක් නොමැති බවයි.

පැට්රීෂා ට සිහිපත් වූයේ තම 9 මසැති බිළිදා ය. තම ලය දෙසින් නැගී ආ හිරිවැටීමක් සමගම තතම ලයට මවුකිරි ගලා එන්නාක් මෙන් දැනින. සැනෙකින් බිළිදාගේ මව වෙත ගිය පැට්රීෂා , තමා මාස 9 ක බිළිදෙකුගේ අම්මා කෙනෙකු බවත් මේ මොහොතේ තමාට කිරි එරී ඇති බැවින් තම කිරි දරුවාට පොවා කුසගින්න නිවන්නට අවසර දෙන ලෙස ඉල්ලා සිටියාය.

ගුවන් යානයේ සිටි සෙසු මගීන් සිදුවන්නේ කුමක්දැයි පුදුමව බලා සිටිද්දී බිළිදා රැගෙන කාටත් නොපෙනෙන සේවා ස්ථානයේ හිදගත් පැට්රීෂා තම දෙතනින් ගලා එන කිරි ළදරුවාට පොවන්නට විය. යුහුසුළුව කිරි උරා බොන ළදරුවා දෙස මව කදුළු පිරුනු දෑසින් බලා සිටියදී දරුවා නිහඞව කුස පුරවාගෙන නිදන්නට විය.

පසුදා තම රාජකාරි අවසන්ව නිවසට පැමිණි පැට්රීෂා මේ අපූරු අත්දැකීම තම ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබුනි. දිනක් ගතවන විට ලොව පුරා මාධ්‍ය ආයතන රැසක ප්‍රධාන පුවතක් බවට පත්වූ ‘ ගුවනේ කිරි අම්මා ‘ ගේ සටහන 22,000 ක් දෙනා ෂෙයාර් කර තිබූ අතර, ප්‍රතිචාර ලක්ෂ 2 ක් ඉක්මවා තිබුනි. උපුටා ගැනීමකි

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here