ආධුනික මට්‌ටමේ පන්දු රැකීමෙන් ශ්‍රී ලංකාව පිට පිටම දකුණු අප්‍රිකාවට දහවරක්‌ පරදියි .

0
86

ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ ආධුනික පන්දු රැකීම හමුවේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ (01 දා) පැවැති දෙවැනි එක්‌දින ක්‍රිකට්‌ තරගයෙන් කඩුලු 04 ක ජයක්‌ ලැබූ දකුණු අප්‍රිකානුවන් තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලිය 2-0 ක්‌ ලෙස පෙරමුණ ගනිමින් සත්කාරකයන්ව දැඩි අගාධයකට තල්ලු කර දැමීමට සමත් විය.

තුන් පැත්තකින් පීඩනය එල්ල වෙමින් තිබූ ශ්‍රී ලංකා පිලට ඉන් ගැලවීමට නම් මෙම තරගය ජය ගතයුතුම වුවත් හිටි හැටියේ කඩා වැටුණු පන්දු රැකීමෙන් යළිත් සුපුරුදු පරාජයටම තල්ලු විය. ඒ අනුව දකුණු අප්‍රිකාවට පිට පිටම එක්‌දින තරග දහයක්‌ පරාජය වූ අතර දඹුල්ල ක්‍රීඩාංගණයේදී පිට පිටම ලද හත්වැනි පරාජයද සටහන් විය.

දකුණු අප්‍රිකානු ආරම්භක කඩුල්ලේ සබඳතාව මුළු ලකුණු 18 දී සහ 35 දී බිඳ දැමීමට තිබූ අවස්‌ථාව ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ ආධුනික පන්දු රැකීම හමුවේ ගිලිහී ගියේය. අනතුරුව ක්‌යින්ටන් ඩී කොක්‌ සහ හසීම් අම්ලා රිසි පිති ප්‍රහාරයේ යෙදෙමින් පළමු කඩුල්ලට පන්දු 84 කදී ලකුණු 91 ක්‌ උදුරා ගනිමින් ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු කළ සබඳතාව සටහන් කළේය. ආරම්භයේ සිටම දුර්වල පන්දු රැකීමක නිරත වූ ශ්‍රී ලංකා පිල සුරංග ලක්‌මාල් යෑවූ පළමු පන්දුවාරයේදීම නොතිබූ ලකුණු 11 ක්‌ දකුණු අප්‍රිකානුවන්ට ප්‍රදානය කළේය. එතැන් සිට තවත් ලකුණු 15 ක්‌ පමණ නවතා ගැනීමට තිබූ අවස්‌ථා ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහෙද්දී සුරංග ලක්‌මාල්ගේ දෙපා අතරින් හතරේ සීමාව කරාද පන්දුව ඇදී යාම විශේෂත්වයකි. නමුත් ලක්‌මාල් මිලර්ගේ කඩුල්ල දවා ගනිමින් සියවැනි එක්‌දින කඩුල්ල සටහන් කර ගත්තේය.

මංගල කඩුල්ල දවා ගැනීමට කසුන් රාජිතට තිබූ අවස්‌ථා දෙකක්‌ම ගිලිහී ගියේ ශ්‍රී ලංකා පන්දු රැකීමේ මොට බව තවත් ප්‍රදර්ශනය කරමිනි. රාජිතගේ පන්දුවකට ලකුණු 4 ක්‌ ලබා සිටි අම්ලා ස්‌කුවාලෙග් හී සිටි කුසල් පෙරේරා අතට ලබාදුන් පහසු උඩපන්දුව බිම දැමු අතර අනතුරුව ඔහුගේම පන්දුවකට ක්‌යින්ටන් ඩී කොක්‌ ලකුණු 24 දී ලබාදුන් උඩපන්දුව අකිල ධනංජය බිම දැමුවේය. එතැන් සිට ශ්‍රී ලංකා පිලට ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබුණේ zහූZ සංග්‍රහයකි. එක දිගට ශ්‍රී ලංකා පන්දු රකින්නන් වැරදි කරද්දී නායක මැතිව්ස්‌ සියලුම ක්‍රීඩකයන් තණතීරුව අසලට ගෙන්වා කතා කරමින් යළිත් තරගයට පිවිසියේ තවදුරටත් එසේ නොවන ලෙසට සිය සගයන් දැනුවත් කරමිනි. ඒ වන විට ශ්‍රී ලංකාවේ පරාජය පන්දු රකින්නන්ගේ වරදින් ලියෑවී තිබුණි.

පළමු තරගයේ සිදුවූ දෙය හැමදාම නොවෙන බව තරගයට පෙර දිනයේ පැවසු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සටන්කාමී පිති ප්‍රහාරයක්‌ දියත් කරමින් පන්දු 11 කදී හතරේ පහර 06 ක්‌ සමග සිය 36 වැනි අර්ධ ශතකය (79) උදුරා ගනිමින් තම කණ්‌ඩායම ප්‍රබල තැනකට ඔසවා තැබීමට සමත් වුවද පන්දු රැකීමේ සිදුවූ දෝෂය හේතුවෙන් යළිත් පරාජයටම තල්ලු විය. නොදැවුණු ඉනිමක්‌ ක්‍රීඩා කළ මැතිව්ස්‌ව දුවද්දී දැවී යාමකින් බේරීමට යැමේදී පන්දු රකින්නන්ට බාධා කිරීමේ වරදට දකුණු අප්‍රිකානුවන් හසුකර ගැනීමට උත්සහ කළද එය ව්‍යාර්ථ විය.

රාත්‍රී කාලයේදී දඹුල්ලේ විදුලි ආලෝක මධ්‍යයේ සීතල සුළඟ සමග පිති ප්‍රහාරයේ යෙදෙනවාට වඩා කාසියේ වාසිය සමග පළමුව පිති ප්‍රහාරය යෙදීම කාලෝචිත බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ තීරණය කළේය. නමුත් උපුල් තරංග සහ කුසල් මෙන්ඩිස්‌ දෙවැනි ඕවරයේදී එක පිට පන්දු දෙකකදී ක්‍රීඩාගාරයේ අසුන්ගැන්වීමට ලුන්ගි සමත්විය. ශ්‍රී ලංකාව දෙසට තල්ලු වූ පීඩනය දකුණු අප්‍රිකාවට හැරවූ නිරෝෂන් දික්‌වැල්ල සිය හය වැනි එක්‌දින අර්ධ ශතකය පන්දු 58 කදී හතරේ පහර නවයක්‌ සමග ලබා ගත්තේය. දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව ඔහුගේ තෙවැනි අර්ධ ශතකය ලෙස එය සටහන්වුවද පෙලුක්‌වායෝගේ පන්දුවක්‌ හමුවේ ගැසූ පහර පිත්තේ වැදී කඩුල්ලේ දැවටෙන විට දික්‌වැල්ලගේ ඉනිම පන්දු 79 කදී හතරේ පහර 10 ක්‌ සමග ලකුණු 69 කට නිමා විය.

අවදානමකට ලක්‌ව සිටි ශ්‍රී ලංකා ඉනිම ගොඩ දැමීමේ අභියෝගය භාර ගත් නායක මැතිව්ස්‌ සහ නිරෝෂන් දික්‌වැල්ල යුගල සිව්වැනි කඩුල්ලට පන්දු 79 කදී ලකුණු 67 ක සබඳතාවක්‌ පැවැත් වූහ. අනතුරුව ෂෙහාන් ජයසුරිය සහ මැතිව්ස්‌ පස්‌වැනි කඩුල්ලට ලකුණු 42 ක සබඳතාවක්‌ පවත්වමින් සිටියදී ෂෙහාන් ජයසූරිය පිටියෙන් ඉවත් විය.

බටහිර ඉන්දීය කොදෙව් හීදී ටෙස්‌ට්‌ වරම් ලැබූ 25 හැවිරිදි කසුන් රාජිත ඊයේ ශ්‍රී ලංකාවේ 187 වැනි එක්‌දින ක්‍රීඩකයා වශයෙන් සිය පළමු තරගයට සහභාගි විය. ශාන්ත සර්වේශස්‌ විදුහලේ ආදි සිසුවකු වන කසුන් රාජිත අඩි හයකට වැඩි උස වේග පන්දු යවන්නකු වන අතර ඔහු පළමු පෙළ එක්‌දින තරග 29 කදී ඩුලු 32 ක්‌ බිඳ දමා තිබේ.වමතින් දඟ පන්දු යවන 26 හැවිරිදි ප්‍රභාත් ජයසූරිය ශ්‍රී ලංකාවේ 186 වැනි එක්‌දින ක්‍රීඩකයා වශයෙන් සිය මංගල තරගයට සහභාගි වූ අතර ඔහු කොළඹ ලුම්බිණි විදුහලෙන් ක්‍රිකට්‌ ක්‍රීඩාව මුවහත් කරගනිමින් පළමු පෙළ එක්‌දින තරග 25 කදී කඩුලු 36 ක්‌ දවාගෙන තිබේ.

Divaina

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here