අඟහරු ග්‍රහයා මත අද්භූත ශෛල කලාපයක්

0
103

අඟහරු ග්‍රහ ලෝකය මත නිර්මාණය වී දශක ගණනක් තිස්සේ විද්‍යාඥයන්ගේ ව්‍යාකූලතාවකට හේතු වී තිබුණු අද්භූත ශෛල කලාපය පිළිබඳ ගැටලුව දැන් විසඳී තිබේ. “මෙඩුසා ෆොසේ” යනුවෙන් නම් කරන ලද මෙම කඳු පෙළ 1960 ගණන්වලදී සොයා ගැනුණු තැන් පටන්ම විද්‍යාඥයෝ එය කෙසේ නිර්මාණය වූවක්ද යන්න හඳුනා ගැනීමට වෙහෙසුණහ.

නිම්නෝන්නත හා කඩතොලු සහිත මෙම කඳු කලාපය අඟහරුගේ සමකය අවට වර්ග කි.මී. විසි ලක්ෂයක (වර්ග සැතැපුම් 7,70,000) පෙදෙසක් වසාගෙන විසිරී තිබේ. මේ ගුප්ත නිර්මාණයට පාදක වී ඇත්තේ ඛාදනය වූ අවසාදිත පදාසයකැයි නාසා ආයතනය විස්තර කරයි. එහෙත් මෙය එවැන්නක් නොව “හඳුනා නොගැනුණු පියාඹන වස්තුවක් කඩා වැටීමෙන් ඇතිවූවක් බවත් එය මෙහි ඇති ඇතැම් ආගන්තුක කොටස්වලින් සනාථ වන බවත් මෙවැනි සිද්ධි පසුපස කිසියම් බාහිර බලවේගයක් ඇතැයි යන න්‍යාය අදහන්නෝ, මේ පිළිබඳව විද්‍යාත්මක විග්‍රහයක් ඇතිවීමට කලින් ප්‍රකාශ කළහ.

එහෙත් වසර කෝටි තුන් සියයකට (3,000, 000,000) ඉහතදී අඟහරු ග්‍රහයාගේ කාල ගුණය පවා වෙනස් වන පරිදි ගිනි කඳු පිපිරීම්වලින් ගලා ගිය ලාවා ඝනවීමෙන් මෙම ශෛල කලාපය අඟහරු පෘෂ්ඨය මත නිර්මාණය වී ඇති බව මේ සම්බන්ධයෙන් කරන ලද නව අධ්‍යයනයකින් පෙනී ගොස් තිබේ. අතිශය විස්මයජනක අන්දමින් නිර්මාණය වී ඇති මෙම කඳු පෙදෙස ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පහෙන් එකක් පමණද එක්සත් රාජධානිය මෙන් දහ ගුණයක් පමණද විශාල වන අර මෙය මෙතෙක් මෙම ග්‍රහ ලෝකය තුළ ගිනි කන්දක් පිපිරීමකින් පිටවී ඇති විශාලතම ලාවා ස්තරය විය හැකි යැයිද විද්‍යාඥයෝ අදහස් කරති.

1960 ගණන්වලදී විද්‍යාඥයන් පළමුවෙන්ම “මෙඩුසා ෆොසේ” ශෛල කලාපය නිරීක්ෂණය කළේ නාසා ආයතනය විසින් යැවුණු “මැරිනර්” අභ්‍යවකාශ යානය මඟිනි. එහෙත් එම කලාපය නිර්මාණය වී ඇත්තේ සුළඟ, ජලය, හිම හෝ ගිනිකඳු පිපිරීම් යනාදී කුමන සිද්ධියකින්ද යන්න එකල නිශ්චිත නොවීය. නාසා ආයතනය විසින් නිකුත් කරන ලද ඡායාරූප අනුව මෙම ශෛල කලාපය “ආරම්භය අවිනිශ්චිත නිර්මාණයක් බව “උජ්ර්ණී මදඪ 2012” යූ ටියුබ් ඔස්සේ විකාශනය විය. හඳුනා නොගැනුණු යානය මීටර් 190ක් පමණ පළල විය හැකි බවත් අඟහරු පෘෂ්ඨියෙහි ගැටීමේදී යානයෙන් අඩක් පමණ එරී ගොස් ඇති බවත් එය ගැටිතැයි සැලකිය හැකි තැන නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වෙතැයි හඳුනා නොගැනුණු යානා පිළිබඳ ගවේෂණයෙහි යෙදෙන ස්කොට් වොරිං ප්‍රකාශ කරයි.

යානය අඟහරු පොළොව මත ගැටී ඉදිරියට ඇදී යෑමෙන් ඇතිවුණු දිගු හා වක්‍ර සලකුණුවලින් පැහැදිලි වන්නේ එය ඉතාම හෙමින් බිම ගැටී ඇති බව යැයිද ස්කොට් පැවැසීය. එහෙත් “හඳුනා නොගත් පියාඹන වස්තු පිළිබඳ ගවේෂණ” නමැති ප්‍රකාශනයේ කර්තෘ නිගෙල් වොට්සන්ගේ මතය වී ඇත්තේ එය ස්වාභාවික භූගත සංසිද්ධියක්ම විය හැකිය යන්නයි.

රතු ග්‍රහයා හෙවත් අඟහරුගේ කාලගුණය පවා විපර්යාසයකට භාජන කරමින් “මෙඩුසා ෆොසේ” ශෛල කලාපය නිර්මාණය වීම අඟහරු ඉතිහාසයේ ඉතා වැදගත් සංසිද්ධියක් විය හැකි යැයිද විද්‍යාඥයෝ විශ්වාස කරති. අඟහරු ග්‍රහයාගේ ප්‍රමාණය සමඟ පමණක් නොව සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහ ලෝකවල ප්‍රමාණය අනුව සසඳන විටද මෙය අතිදැවැන්ත ශෛල නිධියක් බවත් මෙවැන්නක් තිබෙන අනෙක් ග්‍රහ ලෝකයක් මෙතෙක් දැක ගන්නට ලැබී නැති බවත් බැල්ටිමෝර්හි ජෝන් හොප්කින් විශ්වවිද්‍යාලයේ ග්‍රහ තරකා විද්‍යාඥ හා මෙම අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ ලුසේන්ඩ්‍රා ඕජා ප්‍රකාශ කළේය.

මෙම ශෛල කලාපය නිර්මාණය වීමට හේතුවුණු පිපිරීමේදී අඟහරු පෘෂ්ඨය අඟල් හතරක් ඝන ජල තලයකින් වැසී යෑමට ප්‍රමාණවත් ජලස්කන්ධයක් ජල තලයකින් විහිදෙන්නට ඇතැයි පර්යේෂකයෝ පැවැසූහ. පිපිරීමේදී පිට වී ඇති හරිතාගාර වායුව නිසා අඟහරු පෘෂ්ඨය උණුසුම් වී ඇති හෙයින් එම ජල කඳ නොබිඳී තිබෙන්නට ඇති බවද මේ පිළිබඳ අධ්‍යයනයේ විස්තර ඇතුළත් වුණු “භූභෞතික පර්යේෂණ” නමැති ප්‍රකාශනයෙහි සඳහන් විය. හයිඩ්‍රජන් සල්ෆයිඩ් හා සල්ෆර් ඩයොක්සයිඩ් යනාදී අග්නි භූදර විස වායුද මෙහිදී පරිසරයට මුසු වන්නට ඇති බව එම ප්‍රකාශනයෙන් කියැවිණි.

මෙඩුසා ෆොසේ ශෛල කලාපයේ ඝනත්වය ප්‍රථම වරට මැනීම සඳහා විද්‍යාඥයෝ අඟහරු කක්ෂයට යවන ලද අභ්‍යවකාශ යානයෙන් ලැබුණු විවිධ දත්ත උපයෝගි කර ගත්හ. මෙම කලාපයට අයත් ගල් කුට්ටි අසාමාන්‍ය සේ ඇතිවුණු සිදුරුවලින් ගහන බවත් ඒවායේ ඝනත්වය අඟහරු පෘෂ්ඨයේ අනෙක් ගල් කුට්ටිවලින් තුනෙන් දෙකක් පමණ වන බවත් විද්‍යාඥයෝ හඳුනා ගත්හ.

අඟහරු මත නිර්මිත මෙඩුසේ ෆොසේ

අඟහරුගේ සමකය අසල විසිරී තිබෙන මෙඩුසේ ෆොසේ ශෛල පදාසය අවසාදිත පාෂාණයෙන් නිර්මිත කඳු හා ගොඩැලි සහිත නිර්මාණයකි. එය වසර කෝටි තුන් සියයක් පැරැණි යැයි විද්‍යාඥයෝ කියති. එමෙන් එය ඉතා අසාමාන්‍ය සංයුතියක් බවද රාඩාර් මඟින් අඟහරු පෘෂ්ඨය මැන බැලූ විද්‍යාඥයන්ට පෙනී ගියේය. මෙම ශෛල කලාපය අතිශය විස්මිත නිර්මාණයක් වන්නේ එහි විශාලත්වය නිසාම නොව එහි “මැග්මා” හෙවත් ඝන පෘෂ්ඨයට යටින් පිහිටි ද්‍රව්‍යවල ද්‍රවශීලතාව ඉතා අධික වීම හා එය දීර්ඝ කාලයක් පැවැතීමද නිසාය.

අඟහරු මත හිම අවසාදිත පාෂාණ හා ගිනිගල් අතර වෙනස ඉදිරි කාලයේ පැවැත්වෙන ගුරුත්ව ගවේෂණයකදී හඳුනා ගත හැකි වනු ඇතැයි ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ග්‍රහ ලෝක පිළිබඳ විද්‍යාඥ කෙවින් ලුවිස් ප්‍රකාශ කරයි. කලින් අදහස් කෙරුණාට වඩා වසර තිස් කෝටියකට කලින් අඟහරු මත සාගර තිබී ඇතැයි මේ වසරේ මුල් කාලයේදී පැවැත්වුණු ගවේෂණ කිහිපයකදී සොයා ගැනීමට පර්යේෂකයන්ට හැකි විය.

ඉතා ප්‍රබල අග්නි භූදර පිපිරීම් මාලාවකට පසු මෙම ග්‍රහ ලෝකය මත ඇතිවූ ජල රටාව හේතු කොට ගෙන එහි පෘෂ්ඨයද වසර කෝටි 400 කලින් සහමුලින්ම වෙනස් වී ඇති බවද නවීන අධ්‍යනවලින් පෙනී ගොස් තිබේ. අඟහරු මත සාගර ඇතිවීමත් සැතපුම් 3000ක් පමණ පළල ගිනිකඳු පන්තියක් පැනනැඟීමත් අතර ඉතා සමීප සම්බන්ධතාවක් ඇති බවත් “තාර්සිස්” නමින් හැඳින්වෙන එම සංසිද්ධිය සෞරග්‍රහ මණ්ඩලයේම මෙතෙක් දැනගන්නට ලැබී ඇති විශාලතම ගිනි කඳු පද්ධතිය බවත් පර්යේෂකයෝ සඳහන් කරති. ගිනි කඳු පෙළ පැනනැඟීමේදී පිට වුණු උණුසුම් හරිතාගාර වායුව නිසා අඟහරු පොළොව උණුසුම් වී ඇති හෙයින් සාගර ජලය නොමිදී තිබුණු බව අධ්‍යයනවලින් සනාථ වී ඇතැයි ආචාර්ය මයිකල් මැංගා පැවැසීය.

අඟහරු මත ජීවීන් දැකිය හැකිවේද..?

අඟහරු ග්‍රහයා මත ජීවීන් සිටින්නට ඇතැයි යන්න පිළිබඳ අපේක්ෂා සහගත සාධක වසර ගණනක් තිස්සේ ඒ පිළිබඳ ගවේෂණවල යෙදුණු විද්‍යාඥයන්ට හමුවී තිබේ. අඟහරු පෘෂ්ඨයට යටින් තිබෙන බව මේ වනවිට විද්‍යාඥයන්ට දැනගත හැකිව තිබෙන ජලය රසායනික ප්‍රතික්‍රියා සහ හිම විල්ද එම සාධකවලින් කිහිපයකි.

අඟහරු පොළොව මත පවත්නා රළු ස්වභාවයත් විකිරණ සූර්ය සුළං හා අල්ප උෂ්ණත්වය යනාදී හේතු සාධකත් නිසා එහි ජීවීන් සාර්ථකව නොපවතින්නට ඇතැයිද විද්‍යාඥයෝ අදහස් කරති. එකී හේතු නිසා ජිවීන් අඟහරු පෘෂ්ඨයට යටින් විකාශනය වී ඇතැයි බොහෝ විද්‍යාඥයෝ විශ්වාස කරති.

තමන්ගේ ගවේෂණයට ලක්වුණු ප්‍රදේශයේ ජීවීන්ගේ පැවැත්මට නම් අඟහරු පොළොව මත තිබෙන වියළි ස්වභාවය හා විකිරණයෙන් බැහැර ඉතා ගැඹුරෙහි භූ කුහර තිබිය යුතු යැයි ස්ටර්ලිං විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාව හා ග්‍රහලෝක ගවේෂණ පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය ක්‍රිස්ටියන් ස්කේ‍රා්ඩර් 2016 නොවැම්බරයේදී ප්‍රකාශ කළේය. අඟහරු පෘෂ්ඨය යටින් ඇති ජලය, ඒ මතය සනාථ කරන සාධකයකි.

අඟහරු පෘෂ්ඨයට යටින් ජලය හා හිම තිබීම කිසියම් කාලයකදී හෝ එහි ක්ෂුද්‍රජීවීන් සිටින්නට ඇතැයි සිතීමටත් දැන්වුවද කිසියම් ආකාරයක ජීව කොටස් තිබිය හැකිය යන මතය තහවුරු වීමටත් ඇති ඉඩකඩ වැඩිවීමේ සාධකයකැයිද විද්‍යාඥයෝ අදහස් කරති. පොළොව මතද ජලය තිබෙන සෑම තැනකම ජීවය තිබේදැයි “ලොක්හීඩ් මාර්ටින් අභ්‍යවකාශ මණ්ඩලයේ” උපසභාපති ජෝන් කේ‍රාකර් 2016 අගෝස්තුවේදී පැවැසීය.

Source :- Mawbima

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here