වසර 32ක් සැඟවී සිටි මිනිමරුවා , නැප්කින් එකකින් සොයා ගැනේ!

0
75

මේ සිදුවිම සිදු වුනේ ඇමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ ටැකෝමා නගරයේ පියුජෙට් නම් උද්‍යානය තුළයි. කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙකු උද්‍යානයේ සෙල්ලම් කරමින් ඉද ඇති අතර ඉන් එක් සොහොයුරියක් වුනු මිෂෙලා වෙල්චි අතුරුදහන් විමත් සමඟම මෙය ලැව් ගින්නක් සේ නගරය පුරා පැතිරුනි.

හේතුව නම්, ඊට මොහොතකට පසු පුංචි මිෂෙලාගේ මළ සිරුර අසළ මඩ ගොහොරුවකින් සොයා ගැනිමයි. හිත් සසල කරවන මේ සිදුවිම සිදුවුයේ 1986 මාර්තු මස 26 වෙනිදායි.මේ සොහොයුරියන් දෙදෙනා උද්‍යානයේ සෙල්ලම් කරමින් සිටියදි , පුංචි මිෂෙලා තම බයිසිකලයෙන් ගෙදරට යන්න තිරණය කරන්නේ ඔවුන් දෙදෙනාට කන්න පාන් පෙති කිහිපයක් ගෙන එමටයි.

ටික වේලාවක් බලන් සිටියත් මිෂෙලා නැවත නොපැමිණිම නිසා ඇගේ සොහොයුරිය ඇයව සොයන්නට පටන් ගන්නවා. එහිදි ඇයට දැකගත හැකි වුයේ අතරමග දමා ගිය මිෂෙලාගේ බයිසිකලයත් , හැමතැනම විසිරුණු පාන් පෙති කිහිපයත් පමණයි .

ඒත් පුංචි මිෂෙලාට වූ දෙයක් සොයා ගැනීමට ඔවුනට හැකි වුයේ නැත. මිෂෙලා ගේ අතුරුදන් වීම ඔවුහු ඇගේ දෙමාපියන්ට සැලකර සිටියහ. අනතුරුව දෙමාපියෝ ප්‍රදේශයේ පොලිසියට ද ඒ බව දන්වා සිටියහ.

පැය ගණනක පොලිස් මෙහෙයුමකින් අනතුරුව මිෂෙලා ගේ සිරුර සොයාගනු ලැබු අතර ඇය ලිංගික අපචාරයට ලක් කොට මරා දමා තිබු බව ද විමර්ශනයේ දී හෙළි විය. හිසට මොට ආයුධයකින් වැදුණු පහරක් නිසා ඇයගේ මරණය සිදුව තිබු බවද කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය. මිෂෙලාගේ මරණය සිදු වී වසර 32ක් ගත විය.

ඒත් ඊට වගකිව යුතු කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශයන්ට හැකි වූයේ ද නැත. එහෙත් මරණ පරීක්ෂණයේදී සොයා ගනු ලැබු ඩි.එන්.ඒ. සාක්ෂි අනුව අපරාධකාරයාගේ ජනාමය තොරතුරු සහිත කෙටි චරිත සටහනක් පොලිසිය විසින් සකසා තිබු අතර එම සාක්ෂි හා ගැලපෙන ජානමය තොරතුරු සහිත කෙනෙකු ගැන පොලිසිය සෙවිල්ලෙන් සිටියේය.

වසර 32ක් තිස්සේ පොලිසිය විසින් සැකකටයුතු චරිත රැසක් ප්‍රශ්න කිරීමට භාජනය කරනු ලැබු අතර පොලිසිය සතුව තිබෙන අපරාධ කරුවන්ගේ ජානමය දත්ත සමඟ ඩි.එන්.ඒ සාක්ෂි ගැලපෙන්නේ ද යන්න ද සොයා බැලීය. එහෙත් මිෂෙලාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔවුනට කිසිදු තොරතුරක් ලබා ගැනීමට නොහැකි විය.

මේ අතර ටැකෝමා පොලිස් නිලධාරීන් ජානමය වංශ විද්‍යාඥයකු (Genetic genealogist) සමඟ සම්බන්ධ වී සිදු කළ පරීක්ෂණයක දී මිෂෙලාගේ මරණ පරීක්ෂණයේ දී සොයාගනු ලැබු ඩි.එන්.ඒ. තොරතුරු වලට සමාන ජාන ඇති සහෝදරයන් දෙදෙනකු පිළිබඳ කරුණු හෙළි කරගැනීමට හැකිවිය.

එම විද්‍යාඥයා සතුව තිබු ජානමය දත්ත අනුව ටැකෝමා නගරයේ උතුරේ ජීවත් වූ හාට්මන් පවුලේ සහෝදරයින් දෙදෙනකු ගේ ජාන හා සොයාගත් ජාන සැසඳී තිබිණ. මෙම දෙදෙනාගෙන් එක් අයකු විසින් මිෂෙලා මරා දමන්නට ඇතැයි යන සැකය අනුව පොලිස් නිලධාරීන් ගේ උකුසු ඇස් ඔවුන් වෙත යොමු විණි.

ඒ අනුව දැනට 66 වන වියේ පසුවන ගැරී හාට්මන් වෙත ඔවුන්ගේ අවධානය යොමුවිය. ඔහු ගැන සොයද්දී ඔහු අසනීප තත්ත්වයෙන් පසු වීම නිසා රෝහල් ගතකර ඇතැයි පොලිසිය දැනගත්තේය. එහෙත් පොලිසිය ඔහු පසු පසම විය. අසනීප වලට ප්‍රතිකාර ගැනීමෙන් පසු රෝහලෙන් පිටතට පැමිණි ගැරි අසල තිබු හෝටලයකට ගොස් ආහාර ගෙන ඉන් එළියට අවුත් නැප්කිනයකින් මුව සහ මුහුණ පිහිදා එය අසල තිබු කුණු බක්කියට දමන අයුරු ඔහු ගැන ඇස ගසා ගෙන සිටි පොලිස් නිලධාරින් දුටුවේය.

ඔහු හෝටලයෙන් පිටව ගිය පසු කුණු බක්කියේ තිබු කසල ඉවත් කිරීමේ යෙදී සිටි සේවකයාගෙන් ගැරී විසි කළ නැප්කිනය ඉල්ලාගත් පොලිස් නිලධාරීන් එය රැගෙන ගොස් එහි තිබෙන ජාන සොයාගත් ජාන සමඟ සැසඳීමක් කළේය. එය ගැරීගේ ජාන හා සැසඳිණි. ඒ අනුව මිෂෙලා වෙල්ඩ් දැරිය දුෂණය කොට මරා දැමීම සම්බන්ධයෙන් 66 හැවිරිදි ගැරී හාට්මන් අත්අඩංගුවටගත් පොලිසිය ඔහුට එරෙහිව නඩු පැවරීය. ඒ අනුව මිෂෙලාගේ ඝාතකයා සොයාගන්නට පොලිසියට වසර 32ක් ගත කිරීමට සිදුවිය.

පසුව අසරණ දැරියගේ මරණය සිදු කළ අපරාධකාරයා සෙවීමේදී පැරණි රහස් පරීක්ෂක ක්‍රියාමාර්ග හා නවීන තාක්ෂණය බෙහෙවින් හේතු වූ බව ටැකොමා හි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩොනල්ඩ් රැම්ස්ඩේල් මාධ්‍ය හමුවේ පවසා සිටියේය. තවද අපරාධයක් සිදු කර සැඟ වී සිටය හැකි යැයි කෙනෙකු සිතනවා නම් එවැන්නක් කිසි දිනෙක සිදු නොවන බව ද ඔහු පැහැදිලි කළේය.

තමාගේ එකම අරමුණ ජනතාවගේ ආරක්ෂාව හා ඝාතනයට ලක් වූ අයට හා ඔවුන්ගේ පවුල් වලට සාධාරණය ඉටුකරදීම බව ඔහු මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් සඳහන් කළේය. දැනට හැරිහාට්මන්ට එරෙහිව නඩු පවරා ඇතත් ඔහුගේ නීතිඥයන් හා ඔහු ද මිෂෙලා ඝාතනය සිදුකිරීම ප්‍රතික්ෂේප කර තිබේ. එහෙත් ඔහු මේ වන විටත් පියර්ස් ප්‍රදේශයේ සිර මැදිරියක රඳවා තබා ඇත.

Source :- Dinamina 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here