මඤ්ඤොක්කා වලින් කේක් හදමු

0
317

අවශ්‍ය දේවල්:

  • සිහින්ව ගා ගත්ත (ග්‍රේට් කරගත්) මඥ්ඥොක්කා කිලෝ දෙකක්
  • උකු පොල් කිරි මිලි ලීටර් 400 ක්
  • ටින් කිරි මිලි ලිටර් 200 ක්
  • බිත්තර 02 ක්
  • සීනි ග්‍රෑම් 100 ක් හෝ 150 ක් (රස අනුව)
  • පාන් පිටි අඩු කෝප්ප 01 ක් (මේක අවශ්‍යම නෑ. මුළින්ම හදන නිසා ඕනෙනම් දාගන්න.)
  • වැනිලා මේස හැන්දක්
  • ලුණු පිංචක්
  • බටර් ග්‍රෑම් 50 ක් (අවශ්‍යම නෑ)


සාදාගන්නා ආකාරය:

  • හදන්න හරිම ලේසියි. මුලින්ම මොනවා කරන්නත් කලින් අවන් එක අංශක 170 උෂ්ණත්වයට දාගෙන රත් වෙන්න තියන්න (Preheat).
  • ඊට පස්සෙ ඉහතින් සදහන් කළ කළමණා සියල්ල භාජයනයකට දමා හැන්දකින් හොදින් කළවම් කරන්න. එවිට උකු මිශ්‍රණයක් ලැබේවි.
  • ඉන්පසු මෙම මිශ්‍රණය බටර් තවරාගත් තෙල් කඩදාසියක් සහිත තැටියකට දමන්න.
  • ඉන්පසු එය කලින් අපි අංශක 170 උෂ්ණත්වයට රත් කරගත්ත අවන් එකට දාලා උෂ්ණත්වය වෙනස් නොකර ඒ උෂ්ණත්වයෙන්ම විනාඩි 50 ක් පමණ බේක් කරගන්න. (අවන් වල විවිධත්වය අනුව උෂ්ණත්වය සහ බේක් වීමට ගත වන කාලය වෙනස් වෙන්න පුළුවන්.


වැදගත්

  • මේ කේක් එකේ වැදගත්ම දේ තමයි ගා ගත්ත එහෙමත් නැත්නම් ග්‍රේට් කරගත්ත මඥ්ඥොක්කා. ඒක හදාගන්න හරිම ලේසියි. හොදින් සුද්ද කරගත්ත මඤ්ඥොක්කා හීනියට ග්‍රේට් කරගන්න. ඊට පස්සේ ඒ ටික ශීතකරණයේ උඩ කොටසේ දාලා පැයක් දෙකක් විතර තියන්න. පස්සේ එලියට අරගෙන මඥ්ඥොක්ක වල තියෙන වතුර ටික යන්න රෙදි කෑල්කට දාලා හරි අතින් හරි හොදින් මිරික ගන්න. ඔන්න දැන් මඥ්ඥොක්කා ටික හරි.
  • ඔයාලා මේ කේක් මුලින්ම හදලා හුරු වුනාට පස්සේ මං ඉහත කිව්ව කළමණා අඩුවැඩි කරගන්න හැටි ඔයාම ඉගෙන ගනී. මේ කේක් එකට බටර් කේක් හදනව වගේ විශේෂ පදමක් නෑ. ඕනෙනම් ටින් කිරි අඩුවෙන් දාලා උකු පොල් කිරි වැඩියෙන් දාගන්න පුළුවන්.
  • මේ කේක් එක බටර් පොඩ්ඩක්වත් නොදා හදන්න පුළුවන්. නමුත් රසය වැඩිකරගන්න කැමති නම් බටර් පොඩ්ඩක් දැම්මට කමක් නෑ.
  • මේක පාන් පිටි පොඩ්ඩක්වත් නොදා හදන්නත් පුළුවන්. නමුත් පාන් පිටි ටිකක් දැම්මහම ටිකක් පිපිලා එනවා. පාන් පිටි වලට අකමැති අය මේකට හාල් පිටි අඩු කෝප්පයක් එකතු කරගන්න පුළුවන්.
  • මේ කේක් එක හොදට තෙත ගතිය (Moisture) රැදිලා තියෙන කේක් එකක්. ඒක නිසා මේ කේක් එක් හදලා ඉවර වුනාට පස්සේ ශීතකරණයේ දාලා තියාගන්න. නැත්තනම් පුස් රහක් එයි.
  • කේක් එක බේක් කරද්දි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. එක එක අයගේ අවන් වල උෂ්ණත්වයන් වෙනස් නිසා බේක් වෙන්න ගතවෙන කාලය අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා සැරින් සැරේ බලන්න අමතක කරන්න එපා.

 

 මේ තියෙන්නේ ග්‍රේට් කරගත් මඥ්ඥොක්කා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here