දැයම පුබුදුවාලු නිමල පහන නිවුනා !

0
253

☸ මිත්‍යාදෘෂ්ටික මතයන්ගෙන් ගහණ වු කලක, මෙරට පිනට පහළ වු බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් වු, ගංගොඩවිල සෝම හිමි නොමැති අඩුපාඩුව තදින් දැනෙනා කාලයකයි අපි සැම මේ ජිවත් වෙන්නේ. සිරි ධම්මරක්ඛිත වංසාලංකාර අනුවිජ්ජක අති පූජනීය ගංගොඩවිල සෝම නා සමිඳුගේ ජිවීත කථාව කියවා අපි සැවොම උන්වහන්සේට අමා මහා නිවන් සුව ප්‍රාර්ථනා කරමු!

☸ වර්ෂ 1948, බක් මස 24 වන දින ධර්මදාස පියාණන්ටත් , චාලට් මැණියන්ටත් දාව උපන් සෝමරත්න පින්වත් ප්‍රත්‍රයා , කුඩා කළ සිටම ආගම දහම කෙරෙහි නැඹුරු වුයේ සංසාර පුරුද්දකට මෙනි. පුජ්‍ය ගංගොඩවිල සෝම තෙර උපත ලැබුවේ ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹ නගරය අවට ප්‍රදේශයක පිහිටි ගංගොඩවිලදීය.

☸ වයස අවුරුදු 26 වන විට ජිවිතයේ යථාර්ථය තේරුම් ගන්නා සෝමරත්න තරුණයා,  විසුද්ධි මාර්ගය, සද්ධර්ම සාගරය. අංගුත්තර නිකාය වැනි ගැඹුරු දහම් ග්‍රන්ථ පරිශීලනයට දැඩි නැඹුරුවක් දැක්වුයේ සසුන්ගත විමේ අරමුණ පෙරදැරි කරගෙනය.

☸ තමන්ගේ අරමුණ කරා යෑමේ පළමු අඩිය තබමින් මේ සෝමරත්න නම් පින්වන්ත තරුණයා අම්පිටියේ රාහුල සහ අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමි දෙපළගේ සෙවනේ ගංගොඩවිල සෝම නමින් සසුන් ගත විය. වර්ෂ 1976 දී උපසම්පදාව ලද සෝම තෙරුන් වහන්සේ වැඩි දුරටත් නියම පාලි බසින් බුදු දහම පිලිබදව ලියවුනු පාඨ ග්‍රන්ථයන් අධ්‍යනය කළ අතර බුදු දහමේ ඉගැන්වීම් පිලිබදව සොයා බැලිමට මෙන්ම නොයෙකුත් සොයා ගැනීම් පාදක කර ගනිමින් ග්‍රන්ථ රචනා කිරීමටත් වැඩි රුචිකත්වයක් දැක්වුහ. නායක හිමිවරුන්ගෙ සෙවණේ වැඩෙමින් දහම් කරුණු මැනවින් ග්‍රහණය කර ගන්නා සෝම හිමි අවසන විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් බවට පත්වුහ.

☸මේ පින්වන්ත බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ ඉමිහිරි කටහඬෙන් මුළු ශ්‍රී ලංකාද්වීපයම දහම් සුවදින් නැහැවි ගියේ විශාල ශ්‍රාවකයන් පිරිසකගේ සිත් සතන් සනසාලමිනි. පානදුරේ අරියධම්ම ස්වාමින් වහන්සේ හා සමවම විචිත්‍රව දහම් දෙසු සෝම හිමිගේ බණ නොඇසු බෞද්ධයෙකු එකල සොයා ගැනිමට පවා අපහසු විය . ලංකාවේ මෙන්ම විදේශීය බැතිමතුන් පවා උන්වහන්සේ බණ අසන්නට වැල‍ නොකැඩී පැමිණියහ.

☸මිට හේතුව වුයේ, අන් දේශකයාණන් වහන්සේලාට වඩා සෝම හිමිගේ දේශනා විලාසයේ පැවති විචිත්‍රවත් බවයි. අති උතුම් ශ්‍රී ධර්මය ශ්‍රාවකයන් හට නීරස නොවන අයුරෙන් දේශනා කිරිමේ විලාසය නිසාම බොහෝ ශ්‍රාවකයන් පිරිසක් උන්වහන්සේ සරණ යමින් දහම් අවබෝධ කොට ගත්හ. සාම්ප්‍රදායික දේශන විලාසයෙන් බැහැර වු උන්වහන්සේ ප්‍රශ්න අසමින් ධර්ම දේශනාවන් පැවැත්වුහ.

☸තරුණ පරම්පරාව ජීවිත ධර්මය අනුව හැඩගැස්වීම සෝම තෙරුන්ගේ ප්‍රධාන පරමාර්ථය විය. මේ සදහා හොද ප්‍රවේශයක් ලෙස උන්වහන්සේ විසින් පිහිටවා ගනු ලැබු “තරුණ සවිය” නැමැති සංවිධානය හැදින්විය හැකිය. උන්වහන්සේ හා තරුණ පරම්පරාව අතර තිබුන බැඳිම හොඳින් දැකගත හැකි වුයේ උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවයට පැමිණි ලක්ෂ සංඛ්‍යාත තරුණ පිරිසගෙනි. බුදුන්වහන්සේ විසින් උගන්වනු ලැබු භාවනාව විෂයක් ලෙස ගනිමින් අධ්‍යනය කිරීමට විශේෂ කැමැත්තක් දැක්වු උන්වහන්සේ භාවනව පිලිබද වැදගත් කරුණු එක් කර “බුද්ධාස්ථුප” නම්න් ග්‍රන්ථයක් ද ප්‍රකාශයට පත් කළහ.

☸ ඕස්ට්‍රේලියාවේ ,වික්ටෝරියාව සමඟ පැවති සම්බන්ධතාවයන් මත ලැබු ආරාධනාවකට උන්වහන්සේ , 1986 දී ධර්ම දේශනාවක් සඳහා එහි වැඩම කළහ. මාස හයකට පසු නැවත ලංකාව බලා වැඩම කිරීමෙන් අනතුර 1989 දී වික්ටෝරියා බෞද්ධ විහාරය පිහිටුවීම සදහා පදනම දමන ලදී.අවසාන කාලය තුල උන්වහන්සේට අවශ්‍යම වුයේ බෞද්ධාගමේ අගයන් පිලිබද මිනිස් සිත් තුලට කා වැද්දීමයි.

☸ ධර්ම – විනය දෙකෙහිම මනාව පෝෂණය වූ ගංගොඩවිල සෝම හාමුදුරුවෝ කෙටි කලකින් ම මහරගම කේන්ද්‍ර කොට ගනිමින් තම ශාසනික සේවා සාර්ථකව ව්‍යාප්ත කරන්නට විය. අරන්තලාව මහ ඔයේදී සෝම හිමි ආධ්‍යාත්මික ශක්‌තියෙන් පන්නරය ලබා මහරගම සිරිවජිරඥාණ ධර්මායතනයට වැඩම කොට, ජාතියට නායකත්වය සැපයීමේ මහඟු මෙහෙවර ඇරඹුහ.

☸ ශ්‍රී ලංකාව තුල පැතිරෙමින් තිබූ අන්‍යාගම්කරණය ගැන විශේෂ උනන්දුවක් දැක්වූ උන්වහන්සේ, එය වලකාලීමට හැකි සෑම උත්සාහයක්ම ගත් සේක.අන්‍යාගම්කරණය අප රටෙහි යම් තාක් දුරකට හෝ අඩු වී තිබෙන්නේ උන් වහන්සේ ගත් අපමණ උත්සාහයේ ප්‍රතිපලයක් ලෙසිනි.එමෙන්ම අප රටෙහි පන්සල් තුල පැතිරෙමින් තිබූ දේවාල වන්දනා කිරීමේ සංස්කෘතියට එරෙහිව දහම් දෙසනු ලැබුවේ ද උන්වහන්සේ විසිනි. බෞද්ධයන් සරණ යා යුත්තේ තෙරුවන් සරණ බවත්, දෙවියන් යැදීමෙන් කිසි දෙයක් අපට නොලැබෙන බවත් උන්වහන්සේ ප්‍රසිද්ධයේ දේශනා කල සේක.

☸ මෙරට අපගේ බෞද්ධ ඉතිහාසය ගත් කළ වාදිභසිංහ, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, වල්පොල ශ්‍රී රාහුල හිමි, පානදුරේ අරියධම්ම හිමි වැනි සංඝ පීතෘවරුන්ගෙන් හිස්වූ සසුනේ අවකාශය සපුරන්නට සමත්කමක් ඇත්තා වූ මෑත කාලයේ සිටි එකම සංඝ පීතෘවරයාණන් වූයේ අපේ ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේය.

☸ ලංකාද්වීපයේ සසුනඹරේ පැයු ඒ ප්‍රභාවත් චන්ද්‍රයා බදු අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් මීට වසර  13 කට පෙර උදා වූ දෙසැම්බර් 12 දින මෙරට මෙන්ම සුවහසක් බෞද්ධ ජනතාවගේම හදවත සසල කරමින් බැස ගියේ මුළු ලොවක්ම කඳුළින් තෙත් කරමිනි.

☸ අති පූජනීය ගංගොඩවිල සෝම නා සමිඳු මව්බිමෙන් සැතපුම් දහස් ගණනක් ඈත රුසියාවේ සීතල කඳු පන්තියක් අතර අභිරහස් ලෙස තම අවසන් හුස්ම පොද වා තලයට මුදාහැර, ශ්‍රාවක අප සැම සංසාර ගමනේ තනිකර දමා ගියහ.  ඒ සුන්දර සදහම් ස්වරය, ලෝකය පුරා පැතිරී ගිය පිරිත් ස්වරය කවදා නම් නැවත අසන්න ද?

☸ උන්වහන්සේ අපට අහිමිව ගියද, ගංගොඩවිල සෝම නම් ඒ ශ්‍රී නාමය අප සිත් තුළින් නොමැකී පවතිනු ඇත.  “සිරි ධම්මරක්ඛිත වංසාලංකාර අනුවිජ්ජක අති පූජනීය ගංගොඩවිල සෝම නා සමිඳුට” අජරාමර නිවන් සුව අත්වේවා! යි අපි සැම ප්‍රාර්ථනා කරමු.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here