වචන වලින් මනුස්සකම් ඉගැන්වු සොදුරු මිනිසා

0
201

කාසිවලට ගන්නත් බෑ

කාසිවලට දෙන්නත් බෑ

මනුස්සකම මිනිස්සුනේ…

කාසි වාසි ඇති අය ළඟ

බොහොම හිඟයි ගන්නට නෑ

මනුස්සකම මිනිස්සුනේ

❤️ වචන වලින් අප සිත් සනසා ගීයෙන් මනුස්සකම් ඉගැන්වු ඒ අපුරු මිනිසා වික්ටර් රත්නායක නම් විය. අරුත්සුන් ගීත ඇසෙනා කාලයක ඉඩෝරයට වැටෙනා දිය බිඳක් සේ රසික සිත් සනසාලු සොදුරු මිනිසා ඔහුම විය. මේ එළැඹ තියෙන්නේ ඒ උතුම් මිනිසා පිළිබඳව හඬ අවඳි කළ යුතුම කාලයකි. අපට අවැසි කාරණා පමණක් ගොනුකරමින්, අවැසි නොවන කාරණා ලඝු කරමින් මා ලිපිය ලියන්නම්. ඔබ සංගමයෙන් කියවා ඔහුව තේරුම් ගනු මැන.

❤️ 1942 වසරේ පෙබරවාරි මස 18 වන දින කඩුගන්නාවේදී සොයුරු, සොයුරියන් දහ දෙනෙකුගෙන් යුතු පවුලක තුන්වැන්නා වී ඔහු උපත ලැබීය. පියා ජේමිස් රත්නායකය. මව සුමනාවතී මායාදුන්නය. 1946 දී කඩුගන්නාවේ මහා විද්‍යාලයෙන් පාසැල් ජීවිතය ආරම්භ කලේය. පසුව උත්තර භාරතිය රාගධාරි සංගීතයේ මුල ධර්ම අභ්‍යාසත්,ගායනයත්, වයලීන් හා තබ්ලා වාදනයත් පිළිබඳ දැනුමක් ලබාගත් ඔහු “ප්‍රාරම්භ” සහ “මධ්‍යම” යන සංගීත විභාග වලට පෙනී සිටියේය. ගායන හා වාදන යන දෙඅංශයෙන්ම ගාන්ධර්ව, මධ්‍යම විභාග සමත් විය.

❤️ ගුවන් විදුලි සංස්ථාවේ “ඵ්” ශ්‍රේණියේ ගායයෙකු වශයෙන් 1965 දී තම ප්‍රථම සරල ගී වැඩසටහන ඉදිරිපත් කෙරිණි. ප්‍රථම ගීතය වුයේ අරිසෙන් අහුබුදුගේ “සිඳ බිඳ මොහදුරු පාප” ගීතයයි. “ගොළු මුහුදේ මුතු ඇටේ සහ ඈත පෙනෙනා හිමිවු කඳුමත” ගීතය ඵදින ඉදිරිපත් කළේය.

❤️ ගුවන් විදුලි තැටි ගතවු පළමු ගීතය පියසේන කොස්තා ලියු “දෙවඟන පරදන කොමල කතා” ය. වෙළඳ සේවයේ ප්‍රථම සරල ගී වැඩසටහනට ගැයු “මයුරාසන මත වැඩ හිඳිනා” සහ “ඔබේ සෙවැනැල්ල වගේ නම් ” වැනි ගීත ජනප්‍රිය විය. 1966 දී සංගීත ගුරුවරයෙකු ලෙස මුලින්ම බණ්ඩාරවෙල ඇත්තලපිටිය මහා විද්‍යාලයට පත්විමක් ලැබිණි.

❤️1966 දී නොවැම්බර්  1 දා චිත්‍ර රත්නලතා ජයසිංහ සමග විවාහ විය. ඔහුට ජයන්ත, චාන්දනි, මංජුලා හා ලෙළුම් වශයෙන් දරුවන් සිව් දෙනෙකි. 1957 දී ඵම්.ජී.පී කලායතයනයට සම්බන්ධ විය. මහනුවර ලේක් සමාජ ශාලාවේදී ආර්. ඵ් චන්ද්‍රසේනගේ සංගීත ප්‍රසංගයන්හි ගායකයෙකු හා වාදකයෙකු ලෙස කටයුතු කලේය.

❤️1963 දී ගුවන් විද්‍යාලයට ඇතුලත් විය. 1965 දී ගුවන් විදුලියේ  “ඵ් ” ශ්‍රේණියේ ගායකයෙකු ලෙස ප්‍රථම සරල ගී වැඩසටහන ඉදිරිපත් කළේය. 1968 දී ඵලාන් ගීත ධාරා ගුවන් විදුලි වැඩසටහනේ ගායකයෙකු ලෙස ප්‍රථම ස්ථානය දිනාගත්තේය. 1971 දී සතිස්චන්ද්‍ර ඵදිරිසිංහගේ “මාතර ආචිචි” චිත්‍රපටයෙන් චිත්‍රපට සංගීතයට පිවිසියේය.

❤️ මේ අතරතුර “ස“ ප්‍රසංගය පැවැත්විය. 1975 දී මංගල දර්ශණය ලුමිබිණි රඟහලේදීද, 1975 දී සියවන දර්ශනය ලයනල් වෙන්ඩ්ටි රඟහලේදීද, 300 වන දර්ශනය 1976 දී වැල්ලවත්තේ කදිරේෂන් ශාලාවේදීද, 1980 දී 800 වන දර්ශනය සහ 1984 දී 1000 වන දර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීද පැවැත්විණ.

❤️මැලේසියාව, සිංගප්පුරුව, බල්ගේරියාව, ඵක්සත් රාජධානිය, ප්‍රංශය හා ඉතාලිය යන රටවල් වල සංචාරය කළේය. ඔහු ගීත 2500 කට වඩා තනු නිර්මාණයෙන්ද, ගී 2000 කට වඩා ගායනයෙන්ද දායක වී ඇත.  මෙවන් විශිෂ්ට වු කලාකරුවෙකුගේ කලා හැකියාවන් ගැන නොලිව්වොත් එය විශාල අඩුපාඩුවක් වනු ඇත. පහතින් මා ගොනුකරන්නේ ඔහුගේ නිර්මාණයන් අතරින් ලිපියෙහි සඳහන් කළ හැකි ප්‍රමාණය පමණි. මන්ද , මෙවන් මිනිසෙකුගේ කලා හැකියාවන් එක ලිපියකින් සාරංශ කර දැක්විම ඉතාමත් අපහසු කටයුත්තකි.

🎼 “කුරුල්ලන්ට ගී කියන්න ඔබේ කටහඩ දෙන්න”

🎼   “දෙවිරමි වෙහෙරේ හිමි වැඩ හිටි සමයේ මා සිටියා නම්”

🎼  “අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසිවරු”

🎼  “පොඩි කුමාරි හාමියේ”

🎼  “කොහේ සිට ඔබ පැමිණියේදෝ”

🎼  “පෙම්බර මධු මගේ”

🎼   “ගිගිරි ගීත රාවේ මලවි හී සැරේ”

🎼 “තොටුපළ අයිනේ කවුද අතවනන්නේ”

🎼“ආදරයේ උල්පත වු අමිමා”

🎼 “හිත මිතුරු සුලඟ ලඟ ඵන වැහි වළාවට කියන්”

🎼  “අම්මා නැති මට කිරි අමිමා වී”

🎼  “සිතගාව දකගාලා නෙතුගාව හිනවුණා”

🎼 “සඳ හිරු තරු පවතින තුරු”

🎼 “අපි ඇතට ඈතට පා නගලා”

🎼 “ජීවත් වන දා දැකගන්නටවත්”

🎼 “ඔබේ දෙතොල් පෙති ලිහි පිපුණු හසරැල් විලේ”

🎼  “නුඹේ නමින් මා දුක් වී”

❤️ හොඳ නිර්මාණයන් වලට ඇගයිමක් ලැබිය යුතුමය. අප ලේසියට, හරිබරි ගැසි පාඩුවේ අසනා ගීයක් එලෙසින් හැඩවැඩ වී අපගේ සවන් වලට දෙන්නට කලාකරුවා කොතරම් වෙහෙස මහන්සියක් ගන්නට ඇතිද? කලාකාමී මිනිසුන්  වික්ටර් රත්නායකයන්වත් ඇගයුවේ ඒ නිසාය. පහතින් දැක්වෙනුයේ ඔහුට ලැබුණු ජනතා සම්මානයන් ය.

❤️ සම්මාන

🎼1969 ආදරවන්තයෝ (අමරනාත් ජයතිලක) – හොඳම ගායකයා

ගීතය – ඈත හිමාලයේ සීතල සෙවනේ

සහය – සුජාතා අත්තනායක

රචනය – ධර්මසිරි ගමගේ

සංගීතය – ප්‍රේමසිරි කේමදාස

🎼1979 දී ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම පසුබිම ගායක ලෙස කුසලතා සම්මාන සහතිකය ලබා ගැනීම.

🎼1981 දී ආරියරත්නගේ “සිරි බෝ අයියා” හොඳම සංගීත අධ්‍යකෂණය (ජනාධිපති සම්මානය)

🎼1987 දී ආරියරත්න විතානගේ (අතුරු මිතුරු) – හොඳම සංගීත අධ්‍යකෂණය (ජනාධිපති සම්මානය)

❤️ වික්ටර් රත්නායකයන් පිළිබඳව,  මේ දිනවල විවිධ කටකතා පැතිරුණත් ඔහුව ළඟින්ම ආශ්‍රය කරන මිනිස්සුන් නම් , ඔහු කවුද, යන්න හොදාකාරවම දන්නා බවට නම් සැකයක් නැහැ. ඔහුගේ නිහතමානිත්වය අගය කරන සමකාලිනයන් කිහිපදෙනෙකුගේ අත්දැකිම් මෙලෙසින් දිග හරින්නට සිතුවේ ඒ නිසයි.

❤️ වික්ටර් – ප්‍රේම් යනු හෙළෙ ගී කෙත අස්වැද්දවු  ඉතාමත් විශිෂ්ට අයුරෙන් සුසංයෝග වු කලාකරුවන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා එක්ව නිර්මාණය කළ අපුර්වතම නිර්මාණයන් අදටත් ජීවමානව පවතිනුයේ ඒ සුසංයෝගයේ සාර්ථකත්වය ලොවටම විදහා දක්වමිනි  වික්ටර් රත්නායකයන් වෙනුවෙන් වැඩිපුරම ගී ලියා ඇත්තේ ද ප්‍රේම්‍ ය. ප්‍රේම්ට අමතරව වික්ටර් වෙනුවෙන් ගීත රචනා කළ රචකයන් අතරින් අද ජිවත්වනුයේ කුලරත්න ආරියවංශ මහාතා පමණි.

❤️ වික්ටර් රත්නායකයන් පිළිබඳව කුලරත්න ආරියවංශ මහතා පුවත්පතකට පවසා ඇති කරුණු කාරණා අප මේ ලිපියට ගොනු කරන්නට සිතුවේ රසික ඔබ වෙනුවෙනි.

“ආනන්දයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන කාලයේ මම ඒ. ඩී. රංජිත් කුමාර ඇතුළු මිතුරු පිරිසක් සමඟ එක් වී කලා උළෙලක් සංවිධානය කළා. ඒ 1968 වසරේදී. කොළඹ වෙනත් ප්‍රධාන පෙළේ පාසල්වල ශිෂ්‍ය, ශිෂ්‍යාවනුත් මේ කලා උළෙලට සම්බන්ධ වුණා.

ඒ කාලේ වෙන කොට අපි වික්ටර් අයියා ගේ හඬට වසඟ වෙලා හිටියේ. ‘පාවේ වලා’, ‘සෝක සැනසුම් වේදනා’ ගීත වික්ටර් අයියා ගායනා කරපු අලුත. ඒ වෙනස්, ප්‍රේමණීය හඬට අපි ගොඩක් ආසා කළා. කොහොම හරි අපිට ඕනෑ වුණා වික්ටර් අයියා අපේ කලා උළෙලට ගෙන්වා ගන්න.

ඔහු එතකොට නක්කාවත්ත විදුහලේ සංගීත ආචාර්යවරයා විදිහට තමයි සේවය කළේ. සති අන්තයේ වික්ටර් අයියා සේන ජයන්ත වීරසේකරලගේ ගෙදර එනවා.

දවසක් අපි හැන්දෑවක සංගීත මංජරිය එහෙම පහු කරගෙන සේන වීරසේකරලගේ ගෙදර ගියා වික්ටර් අයියා හමු වෙන්න. අපි කාරණය කිව්වම ‘හරි මල්ලි මම එන්නම්’ කියලා බොහොම නිහතමානීව  ඇරැයුම බාර ගත්තා.

මේ ජනප්‍රිය ගායකයා අපේ වැඩේට එයි ද කියලා පුංචි දෙගිඩියාවක් අපේ හිත්වල නොතිබුණාමත් නෙවෙයි. හැබැයි පොරොන්දු වුණ විදිහටම වික්ටර් අයියා අපේ කලා උත්සවයට ආවා තවත් ජනප්‍රිය වාද්‍ය ශිල්පීන් හතර දෙනෙක් එක්ක.

මයිනර් ටැක්සියකින් ඔහු ආවේ. කාගේත් උණුසුම් ප්‍රතිචාර මැද වික්ටර් අයියා ඉතාමත්ම මිහිරිව ගීත කීපයක් ගායනා කළ ආකාරය මට තවම මතකයි. ඔහු අපෙන් කිසිම මුදලක් ගත්තේ නැහැ. අර ටැක්සියට පවා මුදල් ගෙව්වේ ඔහුගේ අතින්.

එදා එලෙස ඇරැඹි වික්ටර් හා කුලේ ගේ හිතවත්කම දිනෙන් දින දළුලා වැඩෙන්නට විය. ඒ කුලේ සිය කුලුඳුල් ගීතය වූ ‘ආදරයෙන් මා හදවත’ අබේවර්ධන බාලසූරිය වෙනුවෙන් රචනා කල අවධියයි.

වික්ටර් අයියා ගායකයෙක් විදිහට දවසින් දවස ඉදිරියටම ආවා. 1973 ජූලි 20 ‘ස’ ප්‍රසංගය ආරම්භ කළාට පස්සේ ඔහුගේ ජනප්‍රියත්වය තව තවත් ඉහළ ගියා.

අබේ ගොඩක් කිට්ටුවෙන් වික්ටර් අයියා ඇසුරු කළා. නුගේගොඩ තිබුණ වික්ටර් අයියාගේ ‘දුලකර’ සංගිත පන්තියට අබේත්, මමත් නිතරම වගේ යනවා. තවත් ගොඩක් කලාකාරයෝ එතනට ආවා, ගියා. මේ යාළුවො පිරිස එකතු වෙලා පිට පළාත්වල තියෙන ‘ස’ ප්‍රසංගවලට සහභාගි වෙනවා. ඒක ඔවුන්ට ලොකු ආශ්වාදයක් වුණා.

කුලේ ඒ සොඳුරු අතීකය සිහි ගන්වන්නේ මහත් සොම්නස් හැඟීමකිනි. ඒ අතර වාරයේ ඔහු ‘ස’ ප්‍රසංගයේ නිවේදකයකු හා අත්වැල් ගායකයකු වූ අයුරුද අපට පවසන්නේ සිනහමුසු මුවෙන් යුතුවය.

1974 විතර කාලේ මමත් අර නඩේ එක්ක නිතර, නිතර රට වටේ යනවා. ‘ස’ ප්‍රසංගයේ නිවේදන කටයුතු කළේ ප්‍රේමකීර්ති ද අල්විස්, බණ්ඩාර කේ. විජේතුංග සහ කේ. ඩී. කේ. ධර්මවර්ධන. ගොඩක් වෙලාවට ඈත පළාත්වල තියෙන ප්‍රසංගවලට මේ අය එන්නේ නැහැ. සෙනසුරාදා, ඉරිදා දවස් දෙකක වෙන්නප්පුව, හලාවත ප්‍රසංග දෙකක් තිබුණා. ඒ ‘ස’ ප්‍රසංගය ඉතාම ජනප්‍රිය කාලේ. මේ ප්‍රසංග දෙකට අර නිවේදකයෝ තුන් දෙනාම නැහැ. මොකද ප්‍රේම්, බණ්ඩාර වගේම කේ. ඩී. කේත් ගොඩක් කාර්යබහුලයි ඒ වෙනකොට.

වික්ටර් අයියා මට කිව්වා ‘ඇයි මල්ලියේ උඹට කරන්න පුළුවන්නේ මේ වැඩේ’ කියලා. ෂෝ එක බලලම මටත් වැඩේ ඇඟට වැදිලා තිබුණේ. මම කළා. එදා ඉඳන් කොළඹින් පිට පළාත්වල ‘ස’ ප්‍රසංගවලට වැඩිපුරම ගියේ මම.

එසේ නිවේදන කටයුතු කරනා අතරතුරේ ‘ස’ ප්‍රසංගයේ අත්වැල් ගායනා සඳහා ද දායක වීමට කුලේට වාසනාව ලැබිණ. එයද පුරප්පාඩුවක් පුරවන්නට ගොසිනි.

ලක්ෂ්මන් විජේසේකර, රෝහණ වීරසිංහ, ආනන්ද වීරසිරි, නිරංජලා සරෝජිනී, නිර්මලා රණතුංග තමයි ‘ස’ ප්‍රසංගයේ අත්වැල් ගායනා කළේ. ආනන්ද වීරසිරි ගුරු වෘත්තියේ නියැළී සිටි නිසා ඔහුට සමහරදාට ප්‍රසංගවලට එන්නට හැකියාව ලැබුණේ නැහැ. ආනන්ද Show එකකට ආපු නැති දවසක මම කෝරස් කිව්වා. එදා ඉඳන් ප්‍රසංග සිය ගාණක මම කෝරස් කළා. අපි හැමෝම පුදුම සහෝදරත්වයකින් බැඳිලා හිටියේ. ඒක රස ගුලාවක්.

ඇත්තෙන්ම ‘ස’ ප්‍රසංගය තරම් සංගීත ප්‍රාතිහාර්යක් මම දැකලා නැහැ. අද තියෙන්නේ මාධ්‍ය ප්‍රචාර හරහා ගොඩ නැගෙන ප්‍රතිරූප. එදා තිබුණේ ගුවන් විදුලිය විතරයි. යම් ගායන ශිල්පියකු, ශිල්පිනියක රසිකයෝ වැළැඳ ගත්තේ ගුණාත්මක වටිනාකමෙන් විතරමයි. වික්ටර් අයියාට රසිකයන්ගෙන් ලැබුණ ආදරය වෙනත් කිසිම ශිල්පියකුට ලැබෙනවා මම දැකලා නැහැ.

කුලේ ගේ නිර්මාණ දායකත්වය වික්ටර් වෙත වඩාත් ප්‍රශස්තව ලැබුණේ ගීත රචනා කලාව පැත්තෙනි. වික්ටර් වැනි ප්‍රතිභාසම්පන්න ගායකයකු හට ගී ලිවීමේ භාග්‍ය කුලේට හිමි වූයේ මෙලෙසිනි.

වික්ටර් අයියා විශිෂ්ට ශ්‍රේණියේ ගුවන් විදුලි ගායන ශිල්පියෙක්. සුපර් ග්‍රේඩ් ආර්ටිස්ට් කෙනෙකුට මාස හයකට විතර සැරයක් පැය බාගයක සරළ ගී වැඩ සටහනක් ලැබෙනවා. මේ ගීත නිර්මාණය වුණ විදිහත් හරිම රසවත් අත්දැකීමක්. ගීත ලියන පිරිස හැන්දෑවට වික්ටර් අයියලගෙ ගෙදරට එකතු වෙනවා. වික්ටර් අයියා සරමකුත් ඇඳගෙන තුවායක් කරේ දාගෙන ඇවිත් සර්පිනාව ඉදිරිපිට ඉඳ ගන්නවා.

මොනවද ඉතින් විනාඩි තුන හතරකින් උල්පතකින් වගේ ගීතනු ගලාගෙන එනවා. මටත් වික්ටර් අයියට සිංදුවක් ලියන්න පුදුම ආසාවක් තිබුණේ. ඒත් මම කවදාවත් ඔහුට ඒ බව කිව්වේ නෑ. දවසක් වික්ටර් අයියා ම මට කිව්වා ‘මල්ලියේ මට සිංදුවක් ලියලා දීපන්’ කියලා. ඒ අනුව තමයි ඔහුගේ සරල ගී වැඩ සටහනකට මම ‘පිනිබර මලක් වගේ’ කියන ගීතය රචනා කළේ.

එකී ආරම්භයත් සමඟින් කුලේ වරින් වර වික්ටර් වෙනුවෙන් ගීත කිහිපයක්ම රචනා කළේය. ‘සිනා දොලක් වන්’, ‘ගුරු පාර දිගේ’, ‘උදා ලාහිරු එන පැයේ’, ‘මුවා වුණා සඳක්’, ‘වේදනා නදී තෙරේ’ වැනි ගීත ඒ අතරින් වඩාත් ජනප්‍රියත්වයට පත් විය.

ඒ අතරින් ‘සිනා දෙළක් වන්’ ගීතය දශක කිහිපයක් පුරා ‘ස’ ප්‍රසංග දහස් ගණනක වික්ටර්ගේ මියුරු හඬින් ගායනා වීම සුවිශේෂත්වයකි. කුලේ අප පිළිසඳර නිමා කරන්නට මත්තෙන් ආනන්දයෙන් බිහි වූ සහෝදර ගීත රචකයන් පිළිබඳ සිහිපත් කරන්නටද අමතක කළේ නැත.

ඩෝල්ටන් අල්විස්, දයානන්ද ගුණවර්ධන, බණ්ඩාර කේ. විජේතුංග, ප්‍රේමකීර්ති ද අල්විස් ආනන්දයෙන් බිහි වූ මට වඩා ජ්‍යෙෂ්ඨ, ප්‍රවීණ ගීත රචකයන්. ඔවුන් හෙළි පෙහෙළි කළ මාවත ඔස්සේ තමයි මමත් ගීත රචකයකු විදිහට මේ ගමන ආවේ. අපි සියලු දෙනාම වික්ටර් රත්නායක කියන මහා ගාන්ධර්වයාට ගීත රචනා කර තිබීම විශේෂත්වයක්.”

🎼 කලාකාමී හිත් ඇති අපට මියෙනතුරා අසන්නට ගීත ගැයුව කලාකරුවන් අප වෙනුවෙන් කර ඇත්තේ මහත් වු පින්කමක් ය. වික්ටර් රත්නායකයන් ද එවන් වු උතුම් මිනිසෙකි. ඔහුගේ පෞද්ගලික ජිවිතයෙන් අපිට වැඩක් නැත .ඔහුගෙන් අපට අවැසි , තව තවත් සුන්දර ගීත පමණකි. අවසන, ඔබ තේරුම් ගත යුත්තේ ,සල්ලි වලට යට වී , තෙම්පරාදු වුනු කොත්තු සිංදු , මී පැණි වන් සිංදු හා මිශ්‍ර නොකර කලා ක්ෂේත්‍රය රැකගත යුතු බවය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here