ඔන්න දැන් කියලා දෙන්න යන්නේ රසම රස මිනි පීසා ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා.. බලන්නකෝ එහෙනම් හදන විදිහ.
අවශ්‍ය දේවල්:
පාන් පිටි 650g
යීස්ට් තේ හැඳි 02ක්
සීනි තේ හැඳි 02ක්
වතුර කෝප්ප 1/2ක් (මඳ රස්නයෙන් යුතු)
තවත් වතුර කෝප්ප 1 3/4ක්
ඔලිව් තෙල් මේස හැඳි 02ක්
ලුණු තේ හැඳි 1 1/2ක්
තක්කාලි පූරී කෝප්ප 01ක්
රතු බෙල් පේපර් 01ක්
කහ බෙල් පේපර් 01ක්
බ්ලැක් ඔලිව් 20ක් පමණ
ලොකු ලූණු ගෙඩියක්
පොඩි සොසේජස් පැකට් 01ක්
චීස් 250g
සාදාගන්නා ආකාරය
මුලින්ම යීස්ට් සහ සීනි මඳ රස්නයෙන් යුතු වතුර කෝප්ප 1/2කට කලවම් කර විනාඩි 10-15ක් පමණ පැත්තකින් තියලා පිපෙන්න හරින්න.
ඊට පස්සෙ පාන් පිටි වලට ඒ යීස්ට් මිශ්‍රණයයි, ඔලිව් තෙල්, ලුණු සහ වතුර කලවම් කරමින් හොඳින් අනාගන්න ඕනෙ. අනාගෙන පිටි බෝලයක් (මෝලියක්) වගේ හදාගන්න.
ඊට පස්සෙ ඒක පැයක් පමණ පිපෙන්නට හරින්න.
ඊට පස්සෙ ඒ පිටි බෝලය කඩලා අපි පොඩි බෝල කිහිපයක් හදාගන්න ඕනෙ. ඒ බෝල ටිකත් චුට්ටක් පැත්තකින් තියලා අපි දැන් පීසා හදාගන්න තැටිය සූදානම් කරගන්න ඕනෙ.
දැන් පීසා බේක් කරගන්න අවන් එකට දාන්න පුලුවන් තැටියක් අරගෙන තැටිය මත ඔලිව් තෙල් තවරා ගන්න ඕනෙ.
ඊට පස්සෙ අර කලින් හදාගත්ත පොඩි පිටි බෝලයක් අරගෙන තැටිය මත තියලා රොටියක් වගේ තුනී කරගන්න ඕනෙ.
මේ විදිහටම තැටිය මත අනිත් පිටි ගුලි ටිකත් පේලියකට තුනී කරගන්න.
ඊට පස්සෙ මේවා මතට තක්කාලි පූරී දමා ගන්න ඕනෙ.
ඊට උඩින් සිහින්ව කපා ගත් බෙල් පෙපර් දමා ගන්න ඕනෙ. පසුව ඊට උඩින් සොසේජස් දමා ගන්න.
ඊටත් උඩින් බ්ලැක් ඔලිව් සහ ලූණු දමා අවසානයේ පොඩියට ගා ගත්ත චීස් උඩින් ඉසින්න.
මෙය තව පැය 1/2ක් තබා ෆැරන්හයිට් 350 (350°F) උෂ්ණත්වයට කලින් රත් කරගත් අවන් එකක විනාඩි 10ක් බේක් කරගන්න.