වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක අභයකෝන් මුදියන්සේ රාලහාමිලාගේ ශ්‍රීමත් ජේම්ස් විලියම් මඩුවන්වෙල මහ දිසාවගේ වලව්වට ගියෙමු

0
409

🏯 මඩුවන්වෙල මහා දිසාවගේ වාසස්ථානය වු මඩුවන්වෙල වලව්ව පිළිබඳව ඇත්තේ කුතුහලය දනවන සුළු ජනප්‍රවාදයන් ය. මඩුවන්වෙල වලව්ව, පුරා විද්‍යාත්මක කරුණු පිළිබඳව ගවේෂණය කර තොරතුරු සොයනා අයට බෙහෙවින් වැදගත් වන ස්ථානයකි. ශ්‍රී ලාංකීය අභිමානය ලොවට විදහා දක්වන්නා වු අනර්ඝ කැටයම් , සමඟ අති විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පය මඩුවන්වෙල වලව්වට
එක් කරනුයේ පෞරාණික පෞඩත්වයකි.

🏯 මඩුවන්වෙල වලව්වට පිවිසිය හැකි පහසුම මාර්ග‍ය වනුයේ, කොළඹ- ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ, උඩවලව හංදිය( බැරියල් හංදිය) පසුකොට කිලෝමීටර් 1 ½ පමණ ඉදිරියට ඇවිත් රංචමඩම මාර්ගයේ පනාමුර හංදියට ගොස් එතැනින් කෑල්ල හංදිය හරහා කොළොන්න පාරේ ඉදිරියට ගමන් කිරිමය. මඩුවන්වෙල වලව්ව පිහිටා ඇත්තේ කොලොන්න පාර ආසන්නයේ, ටැම්පිට විහාරය අසළ නිසා ඕනෑම කෙනෙකුට අපහසුවකින් තොරව ළගා විය හැකිය. මෙම මාර්ගයේ සිට වලව්වට ඇති දුර කිලෝමීටර් 34 ක් වන අතර කොළඹ සිට මඩුවන්වෙල වලව්වට දුර කි.මී. 207 කි.

   🏯 මඩුවන්වෙල වලව්වේ ඉතිහාසය

🏯 මඩුවන්වෙල මහා දිසාවගේ මුත්තාගේ යුගය ක්‍රි.ව 1700 පමණ තෙක් දිව යයි. දිසාවගේ මුත්තා 11 වන විමලධර්ම සුරිය රජුට ආයුධ සපයා ඇති අතර, ඔහු වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක නම් අයෙකි. ඔහුට කොඩිතුව්ක්කු නම් නිලනාමය රජු වෙතින් ලැබී ඇත. මඩුවන්වෙල නින්දගම ඔහුවෙත ලැබුනේද විශේෂ හේතුවක් මුල්කරගෙනය. එනම් විමලධර්මසූරිය රජු දඩයමේ ගිය ප්‍රදේශය සූරියකන්දයි. මෙම ප්‍රදේශයේ ගෝනෙකු සිටින බව රජුට ආරංචි විය. මෙම ගෝනා පන පිටින් අල්ලා ගෙනවිත් දෙන කෙනෙකුට ගම්වරයක් පිරිනමන්නේ යයි රජු දැනුම් දුන්නේය.

🏯 මෙහිදී මෙම ගෝනා ඇල්ලීමේ අභියෝගය භාරගැනීමට කොඩිතුවක්කු නිලමේ ඉදිරිපත් විය. ඔහු සුදු ගෝනා පනපිටින් අල්ලා රජුට භාරදීමේ කටයුත්ත ඉටුකිරීමේන් අනතුරුව මහත් ප්‍රීතියට පත් රජු මඩුවන්වෙල නින්දගම සන්නසකින් ඔහු වෙක භාර දෙන ලදී. සන්නසේ සඳහන් වෙන ආකාරයට කොළොන්න කොරලේ කොළොන්න ගම්පත්තුවේ මඩුවන්වෙල නින්දගම‍ට හා ඉන් නැගෙනහිරට වලවේ ගඟ ද දකුණු දිගින් ගොඩඋඩ දිය බස්නවද බස්නාහිර දිගින් දහයියාගල කන්දද, උතුරු දිගින් කිතල බොකු ඔයද පිහිටා ඇත.

🏯 II වන විමලධර්මසූර්ය රජු ලබාදුන් නින්දගමේ මේ ආකාරයට මෙම ස්ථානයේම වලව්ව සෑදිමට විශේෂ හේතුවක් වී ඇත. කැලයේ සිට හාවකු නරියෙකු පසු පස ලුහු බැද විත් මෙම ස්ථානයේදී හාවා නැවතී ඇත. ඉන් පසු නරියා බිය වී ආපසු කැලයට දිව ගොස් ඇත. ඒ ආකාරයෙන් මෙය ජය භූමියක් ලෙස සලකා වලව්ව ගොඩනැගීමට තීරණය කර ඇති බවයි ජනප්‍රවාදයේ දැක්වෙන්නේ .

🏯 ඔහු විසින් ගොඩ නගන ලද මඩුවන්වෙල වලව්ව ඔහුගෙන් පසුව සිය පුතා වන මහ දිසාවගේ පියාට (මහමුදලි තුමාට) උරුම විය. ඔහු විසින් වලව්වේ දියුණුවට විශාල වැඩ කොටසක් ඉටු කර ඇති අතර 1725 දී ඔහු විසින් වලව්වට උළු සෙවිලි කරන ලදී. මහමුදලි විසින් මුදලින්දාරාමය නම් ටැම් පිට විහාරය ඉදිකර ඇත. එය වලව්වේ සිට කි.මී. 01 පමණ දුරකින් පිහිටා ඇත.

🏯මඩුවන්වෙල වලව්වට මෙම නාමය පටබැදීම පිළිබඳව වාද කීපයක් ගොඩ නැගී ඇත. මෙම ප්‍රදේශයේ තැනිතලා බිම ආශ්‍රිතව කලෑ මී හරකුන් බහුලව සිට ඇත. එවකට මී හරකුන්ට මඩුවන් යන නම භාවිතා කළ බවත් මීහරකුන් බහුලව සිටි වෙළ මඩවන් වෙළ වු බවත් එක් ජන වහරකි.

🏯 එක්තරා වකවානුවක මෙම ප්‍රදේශයේ කුඹුරු වැපිරූ ගොවීන්ට අස්වැන්න නෙලා ගැනීමට නොහැකි වී ඇත. එයට හේතුව වී කරල් සහිත ගොයම් ගස් පිදුරු (මැඩුවන්) පමණක් දැකගැනීමට හැකි වී ඇත. එම හේතුවෙන් මෙම වෙල්යාය සහිත ප්‍රදේශය මැඩුවන්වෙල යයි නම පට බැදී පසුව මඩුවන්වෙල වූ බවයි.

🏯 තවත් මතවයක් නම් වර්ෂා කාලයක එක්තරා වැසි දිනෙක මෙම ප්‍රදේශයේ වෙල්යායට මඩියෝ නම් මාළු විශේෂයක් වැසි ජලයක් සමඟ වැටී ඇතැයි කියවේ. මඩියන්වෙල පසුව මඩුවන්වෙල වු බවත් තවත් මතයකි. අතීතයේ මෙම ප්‍රදේශය එක්තරා ස්ථානයකින් කරදිය උල්පතක් මතු වී ඇත. එය ගැටඹේ උල්පත ප්‍රදේශයේ මතු වුයේයයි මතයක් පවතී. එම උල්පතින් මුහුදු මඩුවන් නම් මාළු විශේෂයක්ද මතු වී ඇති අතර එම මසුන් අවට කුඹුරු යායේ තිබූ ගොයම්ද විනාශ කර ඇතැයි පැවසේ. මෙම උල්පත පසුව ඇතින්නියක ලවා පාගා වසා දමා ඇතැයි පැවසේ. එම ආකාරයට මඩුවන් මතු වූ වෙල මඩුවන් වෙල ලෙස ප්‍රචලිත වි යයි මතයක්ද පවතී.

🏯 පියා වන වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක අභයකොන් ජෝන් විල්සන් මඩුවන්වෙල හෙවත් බණ්ඩාර මහ මුදලි තුමා මිය ගොස් ඇත. කුඩා මඩුවන්වෙල ඉපදී දින 07 කින් සිය මවද මියගොස් ඇති අතර පසුව නාරංගස්මඩ වලව්වේ ඔහු හැදී වැඩී ඇත. (මහවලතැන්න වලව්වේ ඇති දැඩි වුයේ යයි ද මතයකි.) කුඩා මඩුවන්වෙල අධ්‍යානය සඳහා ඇතුල් කර ඇත්තේ ගල්කිස්ස ශාන්ත ජෝන් විදුහලටය.

🏯 පාසැල් කටයුතු අවසන් කළ තරුණ මඩුවන්වෙල තම පරපුරේ බල පරාක්‍රමය පැවති කොළොන්න කෝරලේ‍ට පැමිණ එහි රටේ මහත්යා ලෙසින් රාජකාරී ඇරඹීය. තම පරපුරේ උරුමය වු නින්දගම වලව්ව වැඩි දියුණු කොට ක්‍රමවත්ව පවත්වාගෙන යාම මනාව ඔහු සිදු කර ඇත. කල්ගත වෙත්ම මඩුවන්වෙල හට මහ දිසාව තනතුර ලැබින. දිසාවට ප්‍රවේනි උරුමයෙන් ලැබුන අක්කර 44000 ක ඉඩම් උරුමයක් තිබී ඇත. මඩුවන්වෙල, වලකඩ, පනාමුරේ, කැම්පනේ හා කොළොන්න යන ප්‍රදේශ එයට ඇතුලත්ව තිබී ඇත.

🏯 නිසි කළ වයස පැමිණි මඩුවන්වෙළ කුරුවිට එක්නැලිගොඩ පරපුරේ කාන්තාවක වූ එක්නැලිගොඩ කුමාරිහාමි සමඟ විවාහ ගිවිසගෙන ඇති අතර එයින් ලැබුණු දෑවැද්දත් සමග කුරුවිට කෝරලේ නින්දගමද දිසාවට අයිති වී ඇත. ඒ අනූව දිසාවට අක්කර 84000 ක දේපොලක් උරුම වී තිබී ඇත. වඩාත් කාර්යය ශූර පුද්ගලයෙකු වූ මහා දිසාව තම පරපුරේ උරුමයක් වූ වලව්ව ක්‍රමවත්ව ගොඩනගන ලදී. කාමර 121 සහිතව සංවර්ධනය කරනු ලැබූ එහි මැද මිදුල් 21 ක් තිබී ඇත. වලව් භූමියට ඇතුලුවන ස්ථානයන්හී කළුගල් වලින් කරන ලද තොරන් 03 ක්ද මුර කුටි 03 ක්ද ආරක්ෂක පවුරු 03 ක්ද ආදී වශයෙන් ඉදිකර වු ඔහු වලව්ව ඉදිරිපස බෝධි ප්‍රාකාරයක්ද කරවා ඇත. වලව්වේ නිමැවුම සඳහා කළුවර , කලුමැදිරියය. සියඹලා වැනි වටිනා දැව වැඩි වශයෙන් භාවිතා කොට ඇත. මහල් දෙකකට නිමවා ඇති වලව්ව මුලුමනින්ම ආලෝකය ලැබෙනුයේ මැද මිදුල් මගිනි.

🏯 මඩුවන්වෙල දිසාව උසින් ඉතා අඩු පුද්ගලයෙකි. වලව්ව ආලින්දයේ ලී කැටයම් වලින් අලංකාර කරන ලද රාමුවක් මත ඔහුගේ ජීවමාන ජායා රූපය තබා ඇත. ඔහුගේ උස අඩි 4 අගල් 08 ක් වෙයි. ඔහුට පමණක් සෑහෙන පරිදි වලව්ව තුල උළුවහු සියල්ල අඩි 05 පමණ වන සේ නිර්මාණය කර ඇත. එපමණක් නොව වලව්වට පිවිසෙන ගලින් නිමකල ප්‍රධාන තොරන් නිමවා තිබුනේද දිසාවේ අශ්වයාගෙ පිටින් පැමිණෙන විට නොවදින පරිදි වන අතර සුදු ජාතිකයින් පැමිණෙන විට හිස පහත් කර පැමිණිය යුතු අයුරින් මෙම සියළු තොරන් හා වලව්වේ උළුවහු සහ ඇතුළුවීමේ දොරටු සකසා ඇත.

🏯 මඩුවන්වෙල දිසාව යනු කිසි දිනෙක ඉංග්‍රීසි ජාතිකයින් තැකීමකට ලක් නොකළ පුද්ගලයෙකි. හිරු නොබසින අධිරාජ්‍යයේ ඒකාධිපතිනිය වූ මහරැජිනගේ අනට කීකරු නොවු ඔහු ඇයට ගරු නොකලේය. වලව්වේ බිම් සැරසිල්ලට මහරැජින‍ගේ රුපය පෑගීමට සලස්වා ඇති අයුරු එයට කදිම නිදසුනකි. බිමට අල්ලා ඇති මාබල් අතරට පිඟන් කුඩුකර ඒවායෙන් ලබාගත් රැජිනගේ රූප මාබල් අතරින් අල්ලා එහි යන එන අයගේ පයට පෑගීමට සලස්වා ඇත.

🏯 අධිරාජ්‍ය විරෝදී කැරලි සංවිධානය කල ඔහු ඉංග්‍රීසි ජාතීන්ට නොයෙක් විට පහර දීමටද පෙළඹී ඇත. ඉංග්‍රීසි ජාතිකයින් කීප විටක්ම පහර දි වලව්ව විනාශ කිරිමට උත්සහ කළද එවා ව්‍යර්ථ විය. ඊ‍ට ප්‍රතිචාර ලෙස දිසාව විශාල පිරිසක් සමග ගොස් කටුවන බලකොටුවේ ඉංග්‍රීසීන්ට පහර දී එහි ප්‍රධාන දොරටුවද ගලවාගෙන පැමිණ ඇත.

🏯 ශක්තිමත් උලුවස්සක් සහිත තනි පලුවේ දොරක් වන එය ප්‍රධාන ශාලාවෙන් පිටවීමේ දොරටුව වශයෙන් අදටත් භාවිතා කරයි. මහ දිසාව ජීවත්ව සිටියදී වලව්වේ ගොඩනැගිලි අක්කර 20 ක භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව තිබී ඇත. වර්ථමානයේ එම භූමියේ කැනීම් කටයුතු වලද ඒවායේ අත්තිවාරම් කොටස් හමුවීම කදිම සාක්ෂියකි. වලව්ව වටා විවිධාකාර අවශේෂ ගොඩනනැගිලිද තිබී ඇත. ගම ආරච්චි කාමර, වී, මුං, ඉරිගු, මෙනේරි ආදී ගබඩා කාමර කම්මල් වඩු මඩු අශ්ව ගාල් ආදියද සේවකයින්ගේ නිවාසද ඒ අතර ප්‍රදානය. ඒවා සියල්ලගේම අද ඉතිරිව ඇත්තේ වලව්වේ කාමර 43 මැදමිදු‍ල් 07 ක් වෙති. මෙහි කාමර කුඩාය. අඩි 1 ½ පමණ ගනකම බිත්ති වලින් යුක්තය.

🏯 මැෂින් කාමරය හැර කාමර කිසිවකට ජනෙල් නොමැත. අතීතයේ මෙම වලව්ව තුල කදිම ජල පද්ධතියක් ක්‍රියාත්මකව තිබි ඇත. වලව්වට දකුණු පසින් පිහිටි කදුගැටය පාමුල හීන් ලිද බුබුලු නගමින් දිය බුබුලක් තිබී ඇත. විශාල කුඹුක් ගසක් පාමුල ඇති මෙම දිය බුබුලේ ජලය කන්දේ ටැංකියක් මත ගබඩා කර නල මගින් වලව්ව වෙත රැගෙන විත් ඇත.

🏯 වලව්වේ පොලව මත රටාවකට පිඟන් කටුවලින් අල්ලා ඇති මාබල් ආවරණය ඉන්දීය ආභාෂයක් ඇතියි විශ්වාස කෙරේ. මහ දිසාව අවස්ථා 03 කදී ඉන්දියාවට ගොස් ඇති අතර එහිදි මහාරාජාවරුන්ගේ මාලිගා තුල එවැනි නිර්මාණයක් තිබෙනු දැක හතරැස් පිගන් ගඩොල් තිබියදී එංගලන්තයේ පිඟන් නැවක් ගෙන්වා එම පිඟන් කුඩු කර ඉන්දීය ශිල්පීන් ලවා වලව්වේ ඔබ්බවා ඇත.

🏯 මේ ආකාරයට රැජිනගේ රූපය සහිත පිඟන් කැබලි, රට කාසි, මැණික් ගල්ද ඔබ්බවා තිබී ඇති අතර වර්ථමානයේ එම කාසි හා මැණික් දැක ගත නොහැක. දැන‍ට ඉතිරිව ඇත්තේ කාමර 43 අතරින් 36 කි. ඒ සඳහා වෙන් වෙන් වශයෙන් නම් යොදා ඇත. පැරණි බුදු ගෙයි කාමරය, බංගලාවේ විශේෂ කාමරය, රට බීම ගබඩා කාමරය, දිග්ගෙයි කාමරය, පැරණි කෑම කාමරය, නාන කාමරය, පීරන කාමරය, අප්පොලා අශුද්ධව සිටින කාමරය, ඩිංගිරි අප්පොගෙ ලැගුම් ගෙය, මහ දිසාපති උපන් ගෙය, මහ දිසාපති නිදන කාමරය, සිව් මැදුර, සිව් මැදුරු කවුළු 04, විශේෂ අමුත්තන්ගේ වි‍වේක ශාලාව, විශේෂ අමුත්තන්ගේ රැස්වීම් ශාලාව , පිරිත් මණ්ඩපය, මැෂින් කාමරය, පුංචි බංගලාවේ මැෂින් කාමරය, අළුත් බුදුගෙය, බුලත් ගබඩා කාමරය, සොල්දරයට කාමරය, රදල ඇත්තන්ගේ කෑම කාමරය, සිල්පිල කාමරය, සිල් කාමර දෙක. පුංචි කුමාරිහාමිගේ කාමරය, රදල ඇත්තන්ට කෑම පිළියෙල කළ කාමරය, තිඹිරිගෙය, තිඹිරිගෙයි කාමරය, මස්ගබඩා කාමරය, මාළු ගබඩා කාමරය, අධිකරණ ශාලාව, තෝල්ක මුදලිතුමාගේ කාමරය, මුළු කොළොන්න කෝරළයම පාලනය කළ කාර්යාල කාමරය, කැවිලි කාමරය, ශීතල කාමරය, අධීක ඉඩෝර කාලය ගත කිරීමට මඩුවන් වෙල දිසාව විසින් නිර්මණය කර ඇති ශීතල කාමරය, නම් ස්ථානයේ ශීතල බව රදවා ගැනීමට අපුරු නිර්මාණයක් කර ඇත.

🏯 කාමරයේ බිත්තියේ ඉහලම කොටස පසාරු කැ‍ටයම් ලීමත මිනිරන් වලින් නිර්මාණය කළ අගල් 10 පමණ පළල දික්ආකාරයට මිනිරන් පටි සවි කර ඇත. අලංකාර ලීකැටයමෙන් යුතු ස්ථිර පිරිත් මණ්ඩපයක් වලව්වේ ඉදිරිපසම නිර්මාණය කර ඇත. පොලොව මත අලංකාර පිඟන් කටු සිවිකර ඇත. වලව්වේ වම් පස පිහි‍ටි අධිකරණ ශාලාව පුද්ගලයින් 100 කට පමණ එකවර සිටිය හැකි ඉඩකඩ සහිත ස්ථානයකි.

🏯 දිසාව විසින් නඩු ඇසීම සඳහා මෙම ස්ථානය යොදාගෙන ඇත. එහි බිත්තියේ සිංහ හා අශ්ව ලාංජනය සහිත ගාල් කොටුවේ නිල ලාංජනය ඇද ඇත. නඩු ඇසීමට පාවිච්චි කළ පුටුව නඩු දින වල ශාලාවේ ප්‍රදර්ශනය කර ඇති ලීයෙන් නිම වූ හරක් ඔළුව අදද දැක ගත හැකිය, අඩි 05 උසට නිමවා ඇති ශාලාවේ දොරටුව තුලින් සුදු ජාතිකයින් පැමිණෙන විට ඔළුව පහත් කර ආචාර කර පැමිණීමද මෙහි අරමුණකි. වරද කරුවන් වන අයට එවෙලේම ලබා දුන් දඩුවම් අතරට දඩු කදේ ගැසීම , වලව්වේ පොලව තැලීමට දිම, මෙහෙකාර ලදුන් ලබා රැවුල් ගස් ගැලවිම, කස පහර දීම, ආදිය දිසාවගේ දඩුවම් වී ඇත. (පොලව තැලීමේ දඩුවම සඳහා අදින ගල් රෝල අදද දැකිය හැක) කලට වේලාවට වැඩ කිරීමට පුරුදු වී සිටි මඩුවන්වෙල දිසාව ප්‍රමාද ධ වී පැමිණෙන සුදු ජාතිකයින් වලව්ව ඉදිරිපිට රතුමාර ගසේ බැද කස පහර දී ඇත. වලව්වේ ඉඩම් වලින් දිසාවට විශාල ආදායමක් ලැබිණ. තවද එම ඉඩම් වල ජීවක් වූවන් විසින් තමන් නිපදවන දෙයින් කොටසක් වලව්වටද ලබා දීමට නියමිතව තිබිණි. වලව්වේ ඇති තවත් විශේෂිත ස්ථානයක් වශයෙන් දිග්ගෙයි කාමරය පෙන්වා දිය හැක. එවකට මෙහි දිග්ගෙයි නැටුම නම් රංගනය පවත්වා ඇත.

🏯 රජවරු සිටුවරු ඇතුළු ප්‍රභූන් සඳහා නැරඹීමට පමණක් කැප වූ විශේෂිත රංගනයක් ලෙස දිග්ගෙයි නැටුම ප්‍රචලිතය. දැනට මෙම නැටුම රත්නපුර සමන් දේවාලයේ පෙරහැරේදී නැරඹිය හැකිය. මඩුවන්වෙල මහ දිසාවට බිරින්දෑවරු දෙදෙනෙකු සිට ඇත. ඔහු එම පරපුරේ අවසාන සාමාජිකයා විය. ඔහුගේ බිරින්දෑවරු දෙදෙනා අතරින් කලවානේ කුමාරිහාමිට දුවක් ලැබුණු අතර ඇයද අංගවිකල තැනැත්තියක් විය. පසු කාලීනව ඇයට කෙර මැණිකේයැයි ප්‍රදේශවාසින් විසින් නම් පට බඳින ලදී. වර්ෂ 80 පමණ ජීවත් වී ඇයද මිය ගොස් ඇත. මඩුවන්වෙල දිසාවේ පිලබඳ පවතින ජනප්‍රවාද වලදී වඩාත් උණුසුම්ව අසන්නට ලැබෙන්නේ ඔහු කාන්තාවන් කෙරෙහි දැක් වූ ගිජු බව හා ඊට සම්බන්ධ කථා පුවත් වෙති.

🏯 මඩුවන්වෙල දිස‍ාවේ දැඩි ජාති හිතෛෂියෙකි. එහෙත් දැඩි රදල ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇත. පහත්යැයි සම්මත කුලයේ ක‍ාන්තාවන්ට උඩුකය ආවර්ණය කරගැනීමට අවසර නොවූ අතර පිරිමින් උඩු රැවුල කැපීමේදී දිසාවගෙන් අවසර ගත යුතුව තිබී ඇත. මෙම ප්‍රදේශයට පැමිණෙන ඉංග්‍රීසි ජාතික නිලධාරීන් හට නවාතැන් ගැනීමට සුරිය කන්ද ප්‍රදේශයේ සංචාරක බන්ගලාවක් තිබී ඇත. වරක් එහි පැමිණි නිලධාරියෙකු නොදන්වා වලව්වට පැමිණීම හේතුවෙන් වලව්වෙන් එලවා දමා ඇති අතර තවත් නිලධාරියෙකු එසේ පැමිණි වරදට ගස් බැද ඇතැයි පැවසේ. එවකට කොලොන්න ප්‍ර‍ෙද්ශයේ ඇති ඇරුව්පෝරුව ඔය නම් ස්ථානය එගොඩ වීමට පාලමක් තිබී නැත. ඉංග්‍රීසි ජාතික නිලධාරීන් හා ප්‍රභූ වරුන් එගොඩ කිරීම කිහිපදෙනෙකු විසින් කර මතින් සිදු කර ඇත.

🏯 දිසාව විසින් සුදු නිලධාරීන්ගෙන් කීප වරක්ම මෙම ස්ථානයට පාලමක් ඉල්ලා ප්‍රතිචාර ‍ෙනාලැබී ඇත. එකතරා වකවානුවක එය ගලන දිනෙක එගොඩ වීමට පැමිණි ඉංග්‍රීසි ජාතික ඒජන්ත වරයෙකු දිසාව විසින් උපක්‍රමශීලීව වතුරට දම්මවා ඇත. මෙහිදී අධික ලැජ්ජාවට පත් සුදු ඒජන්තවරයා මෙම ස්ථානයේ පාලමක් ඉදි කොට ඇත. සුදු පාලකින් හට මහත් හිසරදයක්ව සිටි දිසාව ඔවුන් විසින් හදුන්වා ඇත්තේ කලු කුමාරයා යන නමින් බව කියවේ. එවකට ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා පැවැත් වූ භෝජන සංග්‍රහයට දිසාවටද ඇරයුම් ලැබී ඇත. එහි පැමිණෙන සියළු දෙනාම කලිසම් ඇදිය යුතු යැයි නියමව තිබුනද මහ දිසාව තමාට සුපුරුදු සරම ඇඳගෙන ගොස් ඇත. අද මඩුවන්වෙල වලව්ව නැරඹීමට යන ඕනෑම අයෙකු‍ට එහි පැවති අතීත ශ්‍රී විභූතිය මැනවින් වටහා ගත හැක.

🏯 දිසාවගේ ජීවිත අවසාන භාගය රෝගී තත්වයෙන් ගත කර ඇත. ඔහුලේ පාදයේ කලවේ ඇති වූ විශාල ගෙඩියක් හේතුවෙන් ඔහු බෙහෙවින්ම වේදනා විද ඇත. ශ්‍රී ලංකාවේ සිටි සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකු වූ ඉංග්‍රීසි ජාතික ආර්.එල්.ස්පිට්ල් මහතා මහ දිසාවගේ පාදයේ හටගත් ගෙඩිය පලා බෙහෙත් දමා ඇත. පැයකුත් විනාඩි 07 ක් නිර්වින්දනයෙන් තොරව මෙම ශෛල්‍ය කර්මය සිදුකොට ඇතැයි සඳහන් වන අතර තමා දුටු අපූර්ව මිනිසෙකු හා ධෛර්යය සම්පන්න අරුම පුදුම න‍ායකයෙකු ලෙසින් ස්පිට්ල් මහතා මහදිසාව පිළිබඳ තම වනගත ලංකා නම් පොතේ සඳහන් කර ඇත. මෙම ශෛල්‍යකර්මය සිදුකරනා මෙහොතේ ජුවාමුලාදෑනි හා බුලත් සිංහල රාලහාමි නම් අයද එහි සිට ඇත. මහ දිසාපති තුමාට වේදනාවක් දැනුනේ නැද්දැයි විමසු විට වේදනාව මට දැනුනා ඒත් මම කෙදිරිගෑවා නම් සිංහලයාට ඒක ලැජ්ජාවක් ඒ නිසා මම නිහඩව සිටියා යයි පවසා ඇත. මෙම රෝගී තත්වයද වයස්ගත වීම හේතුවෙන් ද මඩුවන්වෙල මහා දිසාව 1930 සැප්තැම්බර් මස 06 වැනිදා මිය ගොස් ඇත.

🏯 අද අප වලව්ව භූමියට ඇතුල්වන් ගල් ආරුක්කු දොරටුව දකුණු පසින් පිහිටි සොහොන මහදිසාව මිහිදන් කළ ස්ථානයයි. කොළොන්න කොරළයේ අභිමානවත් සිංහල නායකයා වූ මඩුවන්වෙල මහ දිසාවගේ අවසානයත් සමඟ වලව්වේ ඉඩම් සහ දේපොල විනාශමුඛයට ඇද වැටින. අක්කර 13 ක භූමි භගයක් පුරා විද්‍යා රක්ෂිත කළාපයක් උවද එහි ඉඩම් ප්‍රදේශවාසීන් විසින් පෞද්ගලික වාසස්ථාන හා ඉඩකඩම් සඳහා යොදාගනිති යයි එහි පුරාවිද්‍යා නිලධාරීහු පවසති. වලව්වේ දේපොල හා සම්පත්ද විනාශමුඛය කරා ඇද වැටී යයි. මඩුවන්වෙල වලව්ව අප සතු වටිනා සම්පතකි. මෙවැනි වටිනා භෞතික සම්පත් සහ එහි අභිමානය රැක ගැනීම අප කාගේත් වගකීමක් මෙන්ම යුතුකමකි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here